පන්හිඳට පිවිසෙන්නන්

Sunday, July 16, 2017

අහෝ සිරිලක පුතෙකුගේ පව් කඳ


 “කොටකෙතනේ මවක් ඝාතනය කළ පුතා අත් අඩංගුවට”
                                                                - පුවතක් -





පෙම්වතියගේ පෙම් පහස විඳින්නද සුදු        පුතේ
කාසි පනම් ඉල්ලලා එල්ලුණේ මගෙ          ගතේ
සතයකුදු නොමැත පුත දෙන්න අද මයෙ     අතේ
කියූවත් දැනුණේ  නෑ දුක නුඹට මගෙ        හිතේ  


ලේ කිරට හරවලා පෙව්ව හැටි පොඩි        වියේ
නැතිද සිහි වුණේ අද රත්තරන් පුත           මයේ
ඒ ලෙයම උණු වෙවී වැගිරුණා මගෙ       ළයේ
මවට තිබු නුඹේ සෙනේ කොහෙද පිටමං  ගියේ


පෙම්වතුන් හට ලොවේ එක් දිනක් වෙන්   වුණේ
ඒ දිනට මදි වුණිද නුඹට මගේ මව්         සෙනේ
උකස් කර මව් සෙනේ පෙම්වතුන්ගේ     දිනේ
නුඹ අතින් මැරෙන්නද මගේ ඉරණම     වුණේ


තුන් හිතකවත් පුතේ දුකක් නෑ              අසාපන්
මතු මතුත් මගෙම රන් පුතා වී              ඉපදියන්
නුඹ පියෙක් වුණු දිනක මව්ගෙ ගුණ     ගයාපන්
මේ කරපු පව් කන්ද ඉක්මනින්           ගෙවාපන්

                                         -විජිතා ජයතුංග-


Friday, July 14, 2017

ආවාට තිබුණත් නිසසල සඳ මත එය හරි ප්‍රියංකරයි . . .





ආසියානු කලාපයේ තිබෙන රටවල් අතරින් ශ්‍රී ලංකාව දැඩි සංස්කෘතික මතවාද නමැති යදම්වලින් බැඳී ශක්තිමත්ව පවත්නා රටකි.  මෙවන් සංස්කෘතික උරුමයක් කරපින්නා සිටින අප සමාජය තුළ තිබෙන ඇතැම් සංකල්ප යල් පැන ගිය බවක් පෙන්නුම් කරයි. මෙම ගීතය හරහාද එවන් වූ අත්දැකීමක් කලාත්මකව ඉදිරිපත් කර ඇත.

“ආවාට තිබුණත් නිසසල සඳ මත
එය හරි ප්‍රියංකරයි
මා කාට නැතිවත් ඔබට පිදූ පෙම
සඳ මෙන් අහිංසකයි. . .”


ආවාට ඇති සඳකට පෙම් බඳින  ප්‍රේමවන්තයා තම ප්‍රේමය සඳ මෙන් අහිංසක බව පවසයි. ආවාටවලින් පිරි හඳ ලෙස රචකයා දකින්නේ නිකැළැල් පෙම්වතිය නොව කැළැල් වූ පෙම්වතියක්ය. ජිවිතයේ යම්කිසි අතපසු වීමකින් ඈ සමාජ සම්මතයන් තුළ ආවාටවලින් පිරී සඳක් බවට පත් වෙයි. එහෙත් ඈ වෙනුවෙන් නිකිළිටි අහිංසක සෙනෙහසක් පුද දීමට ඔහු සූදානම්ය. ගතානුගතික සංස්කෘතික ආකල්ප ඉදිරියේ ඇය සැලුණද ඔහු නොසැලී සිටිනුයේ ලොව නියත දහමට මුල් තැන දෙමිනි.

“මංගල පෝරුව වෙතට එදා ඔබ
දෙපා නැගූ ඒ සුබ මොහොතේ
සිහිසන් නොමැතිව වැටුණු අයුරු දැක
අනුකම්පාවකි මසිත වෙලා ගත්තේ . . .”


ඇතැම් සමාජ සංස්කෘතික සම්මතයන්හි පවතින භයංකර බව මේ මගින් සංකේතවත් වේ. මෙය පෙරදිග සංස්කෘතියේ පුරුෂාධිපත්‍ය හේතුවෙන් ස්ත්‍රියකගේ පමණක් නොයිඳුල් බව සෙවීමේ සම්ප්‍රදායයි. අවාසනාව වන්නේ පිරිමියා පමණක් නොව ගැහැණියද මෙයට  දායක වීමයි. ලේලියගේ කන්‍යා පටලය පරික්ෂාවට සැදී පැහැදී සිටින්නේ නැන්දම්මා යන නමින් හඳුන්වන තවත් ගැහැණියක වීම ඛේදවාචකයකි. මෙම සංස්කෘතික දංගෙඩියට හිස තැබීමට තරම් ආත්ම ශක්තියක් නොමැතිව ඇය සිහිසුන්ව ඇද වැටෙයි.


පෙම්වතාගේ මානුෂීය ගුණය ඉස්මතු වන්නේ එතැන් සිටයි. ඔහු තුළ ඈ  කෙරෙහි දයාවකි. අනුකම්පාවකි.

“සදාකාලයෙන් සදාකාලයට
අපට උරුම නැත දුක් කඳුළු
මැළවුණු මල් පෙති යලි පුබුදන්නට
අපේ ලොවට හෙට හිරු පායා එනවා. . .”


ඉතාම සරල වචන මාලාවක් ඔස්සේ ඇතැම් සමාජ සම්මතයන්ට රචකයා අභියෝග කරන අයුරු ප්‍රශස්තය. මෙම සමාජ සම්මතයන් ඉදිරියේ සදාතනික දුක් කඳුලක් ඇගේ  ඇසට උරුම කර දීමට ඔහු සුදානම් නැත. හෙට දිනයට ඔහු දොර කවුළු විවර කරන්නේ අලුත් ඉරක් දැකීමටය. ඒ අලුත් හිරු එළියෙන් ඇගේ ලෝකයේ මැළවුණු මල් පෙති යළි විකසිත වනු ඇත. උදෑසන ලා හිරු රැස් දවාලක මෙන් පීඩා නොදෙන බැවින් ඒ ළහිරු කැන් දහරාවන් ඇයට මහත් අස්වැසිල්ලක් වනු ඇත. ඇතැම් විට මේ අලුත් හිරු එළිය ඔවුන්ගේ ජීවිතවලට අමුත්තෙකු ලෙස පැමිණෙන කුඩා බිළිඳෙකු වන්නට පුළුවන.

මෙම සමාජ සංස්කෘතිය තුළ ගැහැණුන් දහසක පහස ලැබූ පුරුෂයා මංගල යහනකදී නොයිඳුල් කන්‍යාවක පැතීම මෙන්ම එය නොලැබුණු විට ගැහැණියට ගර්ජනා කිරීම ගෝත්‍රික චාරිත්‍රයක් මිස අන් කවරක්ද? සරල ගීතයක් තුලින් වුවද ගීත රචකයා බුද්ධිමය සංවාදයකට දොර කවුළු විවර කරයි.






Monday, July 10, 2017

වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ . . .






ඇහෙන ඇහෙන වාරයක් පාසා හදවත රිදුම් දෙන මේ සොඳුරු ගීතයේ ගැබ් වෙලා තියෙන ඓතිහාසික සිදුවීමේ අක්මුල් හොයාගෙන යන්න හිතුණා. සීගිරි කාශ්‍යප රජතුමා කියන්නේ ලාංකීය ඉතිහාසයේ නොමැකෙන සළකුණක් තියපු රජ කෙනෙක්. ලෝකේ අටවෙනි පුදුමය ලෙසින් විරුධාවලිය ලබන සීගිරිය නිර්මාණය කරන්නේ කාශ්‍යප රජතුමා. මේ ගීතයේ ගැබ් වෙලා තියෙන සිදුවීමෙන් පසු කාලයේ තමයි එතුමා සීගිරි බලකොටුව නිර්මාණය කරන්නේ. එතුමාගේ පියා තමයි ධාතුසේන රජතුමා.

මෞර්ය වංශික ධාතුසේන රජතුමාට හිටියා පුතුන් දෙදෙනෙක් සහ රූමත් දුවෙක්. මෙයින් වැඩිමල් කුමාරයා  තමයි කාශ්‍යප. ඒත් කාශ්‍යපගේ මව අග බිසව නෙවෙයි. අග මෙහෙසියගෙන් ලැබුණ පුතා තමයි මුගලන්. ඒ නිසාම රජකම නිත්‍යානුකුලව හිමිවෙන ලකුණු තිබුණේ මුගලන් කුමරුට. ධාතුසේන රජතුමා තම දියණිය රජතුමාගේ සොයුරියගේ පුත් මිගාර සෙනවිට සරණපාවා දෙනවා. මිගාර සෙනවිත්, ඔහුගේ මවත්, රජ දියණියත් අතර ඇතිවෙන ගැටුමක් නිසා මිගාර රජ දියණියට දඬුවම් කරනවා. මේ නිසා කෝප වුණු ධාතුසේන රජතුමා තම සොයුරිය වීදියක නිරුවත් කර ගිනි තබා  මරනවා. මේ සිද්ධියෙන් පස්සේ මිගාර සෙනවි රජතුමා එක්ක වෛර බඳින්න පටන් ගත්තා. රජතුමාගෙන් පළිගන්න හිතන මිගාර ඒකට යොදා ගත්තේ  කාශ්‍යප කුමාරයාව.

රජතුමා අති විශාල ධනයක් සඟවලා තියෙන බව කාශ්‍යපට පැවසූ මිගාර රජකම ගන්නා ලෙස කාශ්‍යපට බල කරන්නට වුණා. ඒ විතරක් නෙවෙයි කාශ්‍යපට රජකම ගන්න තමන් උපකාර කරන බවටත් මිගාර සෙනවි  පොරොන්දු වුණා. මිගාර සෙනවිගේ බස් පිළිගත්ත කාශ්‍යප කුමරු තම පියරජු සිරගත කර  රජකමත් පවරා ගන්නවා.  මේ අතරේ මුගලන් කුමාරයා  ආරක්ෂාව පතාගෙන ඉන්දියාවට පිටත් වෙනවා. කාශ්‍යප නිතරම සැඟවූ වස්තුව ඉල්ලමින් ධාතුසේන රජතුමාට කරදර කරන්නට  වුණා. කාශ්‍යපගේ බලකිරීම් එන්න එන්නම වැඩි වුණා. ධාතුසේන රජතුමා තම පුතුන් දෙදෙනාටම එක සමානව ආදරය කළ නමුත් කාශ්‍යපට  තිබුණ බල තණ්හාව නිසා පියාගේ සෙනෙහස දැනුණේ නෑ. මේ කතාව කියනකොට මතක් වෙන්නේ බිම්බිසාර රජතුමා මරපු පිතෘ ඝාතක අජාසත් කුමාරයාව. මේකත් ඒ කතාවට බොහෝම සමානයි. ආදරණිය කාශ්‍යප අමතන ධාතුසේන රජතුමාගේ මුවින් පිටවෙන සෙනෙහෙබර ආමන්ත්‍රණයක් ලෙසින් මේ ගීතයේ මුල් පද පේලිය ලියවෙනවා.


වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ
ඇයි හදවත රිදවන්නේ
ඇස් දෙක වාගෙයි මුගලන් සහ නුඹ
පිය රජු සෙවණේ උන්නේ 

මේ කිසිවකින් කාශ්‍යපගේ මුරණ්ඩු හිත සනසන්න රජතුමාට නොහැකි වෙනවා. අවසානයේ රජතුමා කාශ්‍යප කුමාරයාට කියනවා වස්තුව දෙන්න කලා වැව ලඟට එන්න කියලා.


බලන්න දෙටු පුත මේ දිය තලයම  
කෙත් වතු සාර කරන්නේ
මට ඇති වස්තුව මට ඇති සම්පත
මේ නිල් දිය කඳ වන්නේ

කලා වැවෙන් දිය දෝතක් ගත්ත රජතුමා කුමාරයාට කියනවා මේ “තමයි මගේ ළඟ තියෙන එකම වස්තුව” කියලා. මේ කතාව අහලා හොඳටම කෝප වෙන කාශ්‍යප කුමාරයා ධාතුසේන  රජතුමා වැව් බැම්මේ තියලා මැටි ගසා මරන්න නියෝග කරනවා.

සිටුවා පස් ගස්වා මා මැරුමට
කව්රුද පුතු සිත බින්දේ  
මා මළ පසු පුත මිහිදන් කළ මැන
කලාවැවේ වැව් බැම්මේ
මගේ කලා වැව සදා රකිනු මැන
අවුකන පිළිම සමින්දේ



මිය යන මොහොතේ රජතුමා කලාවැව රකින ලෙස අවුකන පිළිම වහන්සේගෙන් කරන ආයාචනයකින් ගීතය නිම වෙනවා. අවුකන පිළිම වහන්සේගේ නේත්‍රා පිහිටුවා තියෙන්නේ කලාවැව දෙසට  නෙත් යොමාගෙන සිටින විදියට. රජතුමා කලාවැව හදද්දී භාවනායෝගීව හිටපු රහතන් වහන්සේ නමක් එතනින් අයින් නොවුණ නිසා රහතන් වහන්සේ යටකර පස් දැමීමේ විපාකය මේ විදියට පල දුන් බවටත් මතයක් තියෙනවා.

පසු කාලයකදී මුගලන් කුමරුගෙන් ඇතිවිය හැකි ආක්‍රමණය ගැන බියෙන් පසුවුණු කාශ්‍යප රජතුමා සීගිරි පර්වතයේ රජ මාලිගාවක් සහ බලකොටුවක් නිර්මාණය කරගෙන ජිවත් වෙලා තියෙනවා.








Wednesday, July 5, 2017

දිවියක අරුත කීම . . .









"ජීවිතය වසන්තයක් දා . . . .
මල් සුපිපේවි
ඵල බර වේවි
කුරුළු සරින් ඒ ජිවිත හිනැහේවි
ඒත්. . . .
මල් පර වී
ඵල වැහැරී
කුරුළු අදෝනා මැද
වසන්තයට සමු දෙන්නට සිදු වේවි . . . . "

Monday, July 3, 2017

ගීතයක අරුත සොයා ...


දෙදෙනාගේම දුක තල් අත්තක ලියමු...



පවුලේ අදබර බත් හැළිය ඉදෙන තුරුය. අපේ ගැමියන් කීවේ එලෙසය. ඒ ලාංකික සමාජ සංස්කෘතියේ අතීත දායාදයකි. කුඩා බහින් බස් වීමක් දික්කසාදය තෙක් දික් ගැසෙන්නේ බටහිර සමාජයේය. පිරිමියා කෙසේ වුවත් පෙරදිග ගැහැණිය තම පවුල් ඒකකය රැක ගැනීමට මහත් වීරියක් දරන්නිය. යශෝදරවත වැනි ජන කාව්‍යයක් තුළින් වුවද පෙරදිග ගැහැණියගේ ඉවසීම හා පරිත්‍යාගශීලී ගුණය මනාව අත්විඳිය හැකිය.

“කැලේ තිබෙන කොයි දේවත් රස   වේවා
මලේ බඹරු ලෙස පිරිවර ඇති         වේවා
අව්වේ තිබෙන රැස් මාලා අඩු         වේවා  
ගව්වෙන් ගව්ව දිව මාලිග          සෑදේවා”

පෙරදිග පවුල් ඒකක පහසුවෙන් බිඳී නොයාමට තවත් එක් හේතුවක් වන්නේ පැරණි සමාජයේ උපයන්නා පුරුෂයා වීමයි. ගැහැණිය යපෙන්නියක වීම නිසා ඇයට ඉවසීම ප්‍රගුණ කරන්නට සිදු වෙයි. අනෙක් සාධකය වන්නේ දරු සෙනෙහසයි. බටහිර සමාජයට වඩා සංවේදී වූ මාපිය දූ දරු සබඳතාවන් පෙරදිග සමාජයේ පවතී. ඒ නිසා වැඩිහිටියන් අතර ගැටළු පැන නැගුණද දූ දරුවන් නිසා ඔවුහු ඉවසති. මේ සියලු පසුබිම් ප්‍රතිනිර්මාණය වන සංවේදී ගීතයක් ලෙසින් මේ ගීතය නම් කළ හැකිය.

“මා එක්කලා අමනාපව වී දබර
දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර”

  මේ ගැහැණිය තම ස්වාමියා අමතනුයේ “දුගේ තාත්තා” යනුවෙනි. එහිම මේ පවුල් ඒකකයේ බැඳීම ගොඩ නැගී ඇති ආකාරය හඳුනාගත හැකිය. කුමන වරදක් කළද ඔහු ළමයින්ගේ පියාය. එයම  සමාව දිය හැකි කරුණකි. මේ ගැහැණියගේ කෝපය තුනී වී ළය නිවී සැනසෙන්නේ හදවතින් මතු වී එන මේ පිතෘ මූලික හැඟීම හේතුවෙනි.



ගීය තුළ ගැබ්වන අරගලයේ ප්‍රතිඵලය සැමියා අමනාප වී නිවසින් පිට වීමයි. ඇය යටි සිතින් බලාපොරොත්තු වන්නේ ඔහු කුමන මොහොතක හෝ ආපසු පැමිණේවි යන්නයි. ඒ සඳහා ඇය පූර්ව සූදානමකින් සිටින්නීය.   ඔහුගේ සිත සැනසෙන ආකාරයට ඇය නිවසේ අවට පරිසරය සකසන්නිය.    

“වැලි පොල් කටුයි හැඳි රෑනයි පෙරලාලා
මිදුලේ වැටුණු කොළ සේරම අතුගාලා
ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා
රෑ එළි වෙන තුරා ඉමු මිදුලට වීලා”

ගීත රචකයා සංවේදියෙකු වූ තරමට ඒ ගීතයේ සංකේතාර්ථ බහුල වේ.  “ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා” යන යෙදුම අපුර්ව කාව්‍යොක්තියකි. එහි මතුපිට චිත්ත රූපයක් අන්තර්ගත අන්තර්ගත වි පවතී. සැමියා එනතුරු කඩුල්ලට බර වී බලා සිටින බිරියකගේ හා දිරියකගේ චිත්‍රයක් එයින් මතු වේ. සැමියා නොමැති නිවස ආර්ථික ප්‍රශ්නවලින්ද පිරී පවතී. ඇයට තනිවම මේ බැරි බර දැරීමට නොහැකිය. ඇය සැමියා එන තුරු මඟ බලා සිටීමට මේ සියල්ල හේතු සාධක බවට පත් වේ.

මෙම ගීතය වඩාත් හැඟීම්බර වන්නේ අවසාන අදියර තුළිනි. දැන් දිවා කාලය ගෙවී ගොසිනි. සන්ධ්‍යාව එළඹී තිබේ. මව සහ දියණිය නැවතත් කඩුල්ල ලඟට වී මග බලා සිටිති.ඔවුන්ගේ දෑස් කඳුළින් තෙත් වී තිබේ. තවත් නම් ඉවසනු නොහැකිය. සිටින තැනකට පණිවිඩයක් යවා සැමියා ගෙන්වා ගැනීමට දැන් කාලය එළඹ තිබේ.

“හඳ මාමා නැගෙන තුරු අපි තරු ගනිමූ
දෙදෙනාගේම දුක තල් අත්තක ලියමූ”




තව මොහොතකින් හඳ පායනු ඇත. දියණිය පියා ගැන මවගෙන් විමසා සිටින්නීය. ඇයද සැනසිය යුතුය. මේ මොහොතේ මව දියණියගේ සුරංගනා සිහිනවලට අමතයි. දෙදෙනාගේම දුක තල අත්තක ලියූ විට හඳ මාමා ඒ පණිවිඩය දූගේ තාත්තාට රැගෙන යනු ඇත. එය කෙතරම් අපුරු කාව්‍ය සංකල්පනාවක්ද.

“හඳ මාමා අතම ඒ පණිවුඩ යවමු
හෙටවත් ගෙදර ඒ දැයි බලමින් හිදිමු”

තවමත් ඉටු නොවූ මේ අහිංසක ප්‍රාර්ථනාව ඇතැම්විට හෙට දවසේ ඉටුවනු ඇත.




මුහුණු පොතට වහල් නොවී ඉමු ....


ෆේස්බුක් සහ වත්මන් තරුණ පරපුර


මාර්ක් සකර්බර්ග් විසින් ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මිතුරන් අතර තොරතුරු හුවමාරු කරගැනීමට නිර්මාණය කරන ලද ෆේස්බුක් හෙවත් මුහුණු පොත තාරුණ්‍යයේ  සයිබර් නවාතැන්පොළ බවට පත්ව ඇත. මේ වනවිට ලොව පුරා මිලියන ගණනක් ෆේස්බුක් ගිණුම් මගින් හිත මිතුරු සබඳතා ඇති කර ගෙන සිටිති. මුළු ලොවම විශ්ව ගම්මානයක් බවට පත්කළ තාක්ෂණයේ U tern එකක් එසේ නැතිනම් හැරවුම් ලක්ෂයක් බවට ෆේස්බුක් පත්ව තිබේ. 

මෙහි යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵලද බොහෝය. වත්මන් තරුණ ජිවිත ගණනාවක් අකාලයේ නාස්ති වීමට තරම් ෆේස්බුක් සමාජ පිළිලයක් බවට පත්ව තිබේ. එක් අතකින් එය ප්‍රබල සන්නිවේදකයෙකි.

මිට දින කිහිපයකට පෙර සිදු වූ  ගංවතුර නිසා ආපදාවට පත් ජනතාවට පිහිටක් වීමේදී ෆේස්බුක් මගින් ගෙන ගිය ප්‍රචාරයන් ඉමහත් ශක්තියක් වූවාට සැක නැත. තවත් අතකින් එය දැනුම් කෝෂ්ටාගාරයකි. අලුත් දේවල් පිළිබඳ  මෙන්ම සම කාලීන සමාජ සන්දර්භය පිළිබඳව ද තොරතුරු සපයන්නෙකි. මෙකී නොකී බොහෝ හොඳ නරක දෙකම මුහුණු පොත තුළ වේ. වැරැද්ද තාක්ෂණයේ නොව එය භාවිත කරන පිළිවෙළය. වත්මන් තරුණ පරපුරට ෆේස්බුක් නැතිවම බැරිය. මීට දශක කිහිපයකට පෙර වැඩිහිටි පරම්පරාවක් සහ   තරුණ පරම්පරාවක් අතර පැහැදිලි වෙනසක් දැකගත හැකිය. වැඩිහිටියන් දෙදෙනෙකු මුණ ගැසුණ විට සිනාසී සුහදව ආගිය තොරතුරු කතාබහ  කරති. එහෙත් තරුණයන් දෙදෙනෙකු මුණ ගැසුණහොත් ඔවුන් සයිබර් ලෝකයේ ඉබාගාතේ  සැරිසරනවා විනා තමන් අසල සිටින්නේ කව්රුන්ද යන්නවත් නොබලයි. මෙලෙස පරම්පරා දෙකක මහා විපර්යාසයකට හේතු වී ඇත්තේ තාක්ෂණයේ අමිහිරි ප්‍රතිඵලයන්ය.

ෆේස්බුක් නිර්මාතෘවන මාර්ක් සකර්බර්ග් සෑම සතියකට වරක් අලුත් පොතක් කියවීම මගින් විවිධ සංස්කෘතීන්, විශ්වාසයන්, ඉතිහාසය සහ තාක්ෂණය පිලිබඳ තම දැනුම පුළුල් කර ගැනීමට උත්සාහ දරයි. එහෙත් අප ඔහු බිහිකළ මුහුණු පොතට යට වී අපගේ වටිනා කාලය අපතේ යවමින් කල් මරති.


ෆේස්බුක් නිසාවෙන් ජිවිත කීයක් නම් අකාලයේ විනාශ වනවාද? මෑතකදී දුම්මලසුරිය ප්‍රදේශයේ තරුණයෙකු රැවටූ කාන්තාව උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකිය. තමන් වෛද්‍යවරියක් බවට පවසා ෆේස්බුක් මගින් හිතවත්කමක් ඇති කරගත් මොවුන් දෙදෙනා එය විවාහය තරම් දුරට ගෙන ගියහ. එහෙත් මෙම කාන්තාවගේ ක්‍රියා කලාපය පිලිබඳ තරුණයා තුළ මතු වූ සැකය මත එම කාන්තාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. මෙවැනි සිදුවීම් වත්මන් සමාජය තුළ සුලබව අසන්නට දකින්නට ලැබේ.

ෆේස්බුක් මගින් මුදල් ජාවාරම්වල නිරතවන පිරිස්ද බොහෝය. ඒ නිසාම එය  මිනිසාගේ දුක අලෙවි කරන වෙළඳපොළක් බවට පත්ව තිබේ. සමාජය වෙනුවෙන් හඬක් නැගීම හෝ සදාචාරයට පණ පෙවීම like, commentවලට පමණක් සිමා වී තිබේ. සැබෑ ලෙසම සිතා බැලුවහොත් අප ෆේස්බුක් සඳහා වැය කරන කාලය සහ මුදල් වෙනත් ඵලදායි වැඩකට යොමු කළේ නම් අපට දැනුමින් පෝෂණය වීමට හැකියාවක් ඇත.

හුදකලාව සහ අලසකමට ප්‍රියකළ බටහිර ජාතිකයන් නව සොයාගැනීම් මගින් තම ජිවිතයේ කටයුතු පහසු කර ගැනීමට සිය මොලය වෙහෙසවීය. එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ වූ නිපදවීම් මගින් තම කටයුතු පහසු කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබිණි. එහෙත් සාමුහිකත්වයට ප්‍රියකළ ආසියාතික ජනයා සිය දෛනික කටයුතු සහයෝගයෙන් සිදු කළහ.  ෆේස්බුක් ද එසේම හුදෙකලාවට ප්‍රිය කරන්නන්ගේ නවාතැන්පලක්   බවට පත්ව තිබේ. දැන හෝ නොදැන මෙයට ඇබ්බැහිවන තරුණ පරපුර තම වටිනා ජිවිත අගාධයකට ඇදගෙන යමින් සිටිති. යතාර්ථයෙන් ඔබ්බට ගොස් අඳුරේ අතපත ගාමින් ජිවිතයේ සැබෑ අරුත සොයමින් සිටින තරුණ පරපුරක් හිමි රටක අනාගතය කෙසේ වේවිද?

තාක්ෂණය සමඟ ඉදිරියට ගමන් කළයුතු  බව සැබෑවකි. එසේ නොමැති වුවහොත් ළිං මැඩියන් ලෙස කල්ගත කිරීමට වනබව ඔබට සිතෙන්නට පුළුවන. එහෙත් තාක්ෂණය යහපත් ඵලදායි අරමුණක් වෙනුවෙන් යෙදවිය යුතුය. එසේ නොමැති වුවහොත් හිත්පිත් නැති රොබෝවරු මෙන්ම මිනිසාද යාන්ත්‍රික ජීවියෙකු වීමට ඉඩ ඇත. එබැවින් මුහුණුපොතට වී ජීවිතය නිකරුණේ දියකර හරින්නේ නැතිව සෑම මිනිත්තුවකදීම ජිවිතයට හරවත් දෙයක් එක්කර ගැනීමට වෑයම් කළ යුතුය.  

විජිතා ජයතුංග 

වත්මන් ලක්දිව


වත්මන් ලක්දිව



බ්‍රාහ්මණ සමාජෙම කුල මතින් මත්වෙලා
උපාලිලා සුනිතල නරා දුක් විඳිනවා
එදා ඒ සමාජෙට සඳක් වී පායලා
මගේ සම්බුදු සමිදු ගණ අඳුර දුරු කළා

වත්මනේ ලක්දිවේ සුනිතල වැඩිවෙලා
සෝපාක සොහොන ලග හඬනවා තනි වෙලා
මට්ටකුණ්ඩලීටත් පියා පිටුපානවා
ඒත් බුදු හිමියනේ බුදු සසුන දිලෙනවා

දිනපතා තුන්යාමෙ සෙත් පිරිත් ඇහෙනවා
විශාකාටත් වඩා මහා දන් පුදනවා
අජාසත් පරපුරේ පුරුක් තව තියෙනව
මෙලෙස බුදු හිමියනේ ලක්දිවම දැවෙනවා  




සිතට තනි නැත

තනිකම












සිතට තනි නැත සිතේ තනියට
සුසුම නිරතුරු තනිය මැකුවා
මුවට තනිකම නොදැණුනේ මට
ඉකිබිදුම මුව අසළ සිටියා....
මටද තනි නැත මගේ තනියට
සිතන්නට දේ බොහෝ තිබුණා
ගිනි ගැහෙනවිට මගේ හදවත 
කදුළු ඇවිදින් එයත් මැකුවා ....


ආයු බල වඩවන කොළ කැඳ

ආයු බල වඩවන කොළ කැඳ


නිරෝගිමත් දිවියක් ගත කිරීමේදී පෝෂ්‍යදායි ආහාර රටාවකට හුරු වීම ඉතාම වැදගත්. කාලයත් සමග අපේ පැරණි ආහාර රටාවන්ගෙන් ඈත් වෙමින් වැරදි ආහාර රටාවන්ට හුරු වීමේ ප්‍රවනතාවයක් දකින්නට තියෙනවා. ඉතිං ශරීරයට බොහොම ගුණදායක පානයක් වන කොළ කැඳවල අඩංගු පෝෂණ ගුණය ගැන ඔබ දැනුවත්ද? කිරි පිටි වෙනුවට සෑම උදෑසනකම කොළ කැඳ වීදුරුවක් පානය කිරීමෙන් දවස ආරම්භ කිරීමට යොමු වීමෙන් ලෙඩ රෝග අවදානමෙන් මිදීමට පුළුවන.

සමබර පානයක් වන කොළ කැඳවල කොළ යුෂ මගින් ශරීරයට ඛණිජ ලවණ, ඇමයිනෝ අම්ල, විටමින් වැනි පෝෂ්‍ය පදාර්ථයන් එක් කෙරෙනවා. සහල් මගින් පිෂ්ටයත් පොල්කිරි වලින් මේදයත් ලබා දෙනවා. ඉඟුරු, සුදු ලූණු, ගම්මිරිස්වලින් ලබාදෙන අමතර පෝෂණයත් ඉතාම වැදගත්.

කොළ කැඳ පානය කිරීමෙන් නිරෝගී බව රැකීම මෙන්ම අයුබල ශක්තිය වර්ධනය වීමද සිදු වේ. මිට අමතරව ආහාර රුචිය ඇති කිරීම, සම රැලි වැටීම අඩු කිරීම, අකලට හිසකෙස් පැසීම නැවතීම වැනි ගුණ රාශියක් මෙමගින් ලැබෙනු ඇත. මෙම කොළ වර්ග වලින් සිරුරට ලැබෙන පෝෂණ ගුණයයි මේ...

ගොටුකොළ

පහසුවෙන් සොයා ගත හැකි ගොටුකොළ බොහෝ දෙනා අතර ජනප්‍රිය කැඳ වර්ගයකි. රසයෙන් හා ගුණයෙන් වැඩියි මුළු ශාකයම ප්‍රයෝජනයට ගත හැකිය.
  • ·        ධාරණ ශක්තිය ඇති කරයි.
  • ·        අලසබව දුරු කරයි.
  • ·        කුඩා ළමුන්ගේ මොලය වර්ධනය කර ගැනීමට ගොටුකොළ කැඳ ඉතාමත් සුදුසුයි.
  • ·        බුද්ධිය ඇති කරයි.
  • ·        කිරිදෙන මව්වරුන්ට ගුණදායකය.
  • ·        සිරුරට සිසිලස ලබා දෙයි.
  • ·        ඇස් පෙනීමේ දුර්වලතාවයන් අවම කරයි.
  • ·        රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරයි.
  • ·        හිසකෙස් වඩවා දීප්තිමත් කරයි.
  • ·         ක්‍රියාශීලී බවින් ජීවිතය පවත්වා ගැනීමට උපකාරී වෙයි.
  • ·        බොහෝ රෝහවලට ගුණදායකය.
  • ·        රුධිර සංසරණ ක්‍රියාවලිය මනාව සිදු කිරීමට උපකාරී වේ.
  • ·        විටමින් B බහුලව පවතී.


මුකුණුවැන්න  

පළාවර්ග අතරින් ඉතාම ජනප්‍රිය මුකුණුවැන්න  කොළ කැඳ ඉතාම රසවත්ය.
  • ·        ශරීරයේ විෂ පහ කරයි.
  • ·        ඇස් පෙනීම වැඩි කරයි.
  • ·        විටමින් A බහුලව ඇත.
  • ·        සිරුරට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ශරීරයට අවශෝෂණය කරයි.
  • ·        කෂුද්‍ර පෝෂකවලින් ඉහළ පෝෂණීය ගුණයක් ඇති පොටෑසියම්, සින්ක් සහ කැල්සියම් අඩංගු වී ඇත.
  • ·        ප්‍රතිශක්තිය වැඩි කරයි.
  • ·        පටකවල ගෙවී යාම අඩු කරයි.
  • ·        මළ පිට වීම හොඳින් සිදු කරයි.
  • ·        රුධිරයේ පවතින විෂ දෝෂ නැති කරයි.
  • ·        කුෂ්ට රෝග දුරු කරයි.
  • ·        බඩගින්න ඇති කරයි.
  • ·        අක්මා රෝග සහ පිනසට ගුණදායකය.
  • ·        අකලට හිසකෙස් පැසීම නවතා හිසකෙස් කළු පැහැ කරයි.
  • ·        ඇස් දීප්තිමත් කර ප්‍රභාව වැඩි කරයි.
  • ·        මතක ශක්තිය වැඩි කරයි.



හාතාවාරිය


හාතාවාරිය කැඳ ගුණාත්මක බැවින් වැඩි කැඳ වර්ගයකි. පහසුවෙන් සොයාගත හැකි හාතාවාරිය ඉතාමත්ම රසවත් කොළ කැඳ වර්ගයකි.
·        සිරුරේ සිසිලස රඳවා තබයි.
·        වාතය නසයි.
·        සිරුරේ බලය ඇති කරයි.
·        සිරුර පෘෂ්ඨිමත් කරයි.
·        අකලට හිසකෙස් පැසීම අවම කරයි.
·        සරුබව ඇති කරයි.
·        චර්ම රෝග නැති කරයි.
·        දයට හිතකරයි.
·        කුෂ්ඨ රෝග දුරු කරයි.
·        සන්ධි රෝගවලට සුදුසුයි.
·        මව්කිරි වඩයි.
·        සිරුරේ ඉදිමුම නැති කරයි.
·        ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝගවලට හිතකරයි.
·        රාත්‍රියේදී ඇස් පෙනීම දුර්වල වූ අයට යෝග්‍ය වේ.
·        අර්ශස් රෝගයට සහ ආමාශයේ තුවාලවලට ඉතාම   
සුදුසුයි.
·        කාන්තා රෝගවලට සුදුසුයි.
·        සිරුරේ දාහය නසයි.
·        සිරුරේ බලය වැඩි කරයි.

වැල්පෙනෙල

මෙහි ඇති ප්‍රධාන ගුණය නම් පෘෂ්ඨිමත් බව වැඩි කිරීමයි.
·        පුරුෂයින්ගේ ධාතු ශක්තිය වැඩි කරයි.
·        සරු භාවය ඇති කරයි.
·        අධික රුධිර පිඩනයට ඉතාම ගුණදායකය.
·        ශරීරයේ වෙව්ලන බව නැති කරයි.
·        පිළිකා වලක්වන ගුණය පවතී.
·        ස්නායු පද්ධතිය මනා ක්‍රියාකාරීත්වයෙන් පවත්වා ගනී.
·        රුධිරය පිරිසිදු කරයි.
·        අරුචිය නැති කරයි.
ඉරමුසු


මුළු වසර පුරාම දැකිය හැකි ශාකයකි. මෙය සුලබව පවතී. රසවත් බවින් මෙන්ම ගුණවත් බවින්ද යුත් කැඳ වර්ගයකි.
·        ශරීරය සිසිල් කරයි.
·        ශුක්‍ර වර්ධනය කරයි.
·        කුෂ්ඨ දද නැති කරයි.
·        සිරුරේ දහඩිය දුගඳ නැති කරයි.
·        බඩගින්න ඇති කරයි.
·        පිපාසය නැති කරයි.
·        දාහය, දැවිල්ල නැති කරයි.
·         රුධිරය පිරිසිදු කරයි.
·        වාතය නසයි.
·        ඉදිමුම නැති කරයි.
·        මව්කිරි පිරිසිදු කරයි.
·        බරවා රෝගයට සුදුසුයි.
·        ස්ත්‍රී රෝගවලට ගුණයි.
·        මුත්‍රා දැවිල්ල නසයි.
·        අක්ෂි රෝගවලට සුදුසුයි.
·        සිරුරේ ඇතිවන තුවාල සුව කරයි.
·        මී විසට හිතකරයි.
·        ආහාර රුචිය ඇති කරයි.

කරපිංචා


පහසුවෙන් සොයාගත හැකි කරපිංචා තුළ අඩංගු ගුණදායක බව ඉතාම ඉහළය. ඒ නිසාම එය දිව්‍යමය ඔසුවක් ලෙස පෙන්වා දිය හැකිය. විවිධ වූ රෝගයන්ට එක එක ආකාරයෙන් ආහාරයට එක්කර ගත හැකිය. කරපිංචා අගුනවන අවස්ථා අඩුය. සියලු දෙනාටම ගුණ දෙන ඔසුවකි.
·        ශරීරයේ මේද ප්‍රමාණය පහත හෙළයි.
·        කොලෙස්ටරෝල් රෝගයට ඉතාම සුදුසුයි.
·        රුධිරය පිරිසිදු කරයි.
·        විෂ නාශක ගුණයෙන් ඉහළයි.
·        අර්ශස් රෝගයට සුදුසුයි.
·        හිසකෙස් වර්ධනය කරයි.
·        ගැබිණි මව්වරුනට ඉහම සුදුසුයි. දරුවා බිහිකිරීමේදී වේදනා ගතිය දුරු කරයි.
·        කක්කල් කැස්සට යෝග්‍යයි.