මනමේ නාට්‍යයෙන්
හෙළ කලා කෙතේ මුල් බිජුවට වැපිරූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සිංහබාහු
තුලින් එහි අග්‍රගන්‍ය ඵල නෙලා ගන්නට සමත් විය. වර්ෂ 1961 අගෝස්තු මස 31 වෙනි දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී ප්‍රථම වරට රංගගත කළ සිංහබාහු නාට්‍ය සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ඨතම දෘශ්‍ය කාව්‍ය ලෙසින් ප්‍රේක්ෂක සහ විචාරක දෙපිරිසේම සම්භාවනාවට පාත්‍ර විය.
සිංහබාහු කතා පුවත සැකෙවින් මෙසේය.
"සුප්පා දේවිය සිය පිරිවර සමගින් වනය මැදින් ගමන් කරද්දී සිංහයා පැමිණ පිරිවර පලවා හැර කුමරිය සිය පිට මත
තබා වන වැදුනු බව කියති. පසුව මෙම සිංහයා ඉමහත් ආදරයෙන් කුමරිය රැක බලා ගත් බවද
ඔහුට දාව සිංහබාහු හා සිංහසීවලී යන දෙදරුවන් උපන් බවද ජනප්‍රවාදයන්හි කියැවේ. තම
බිරියට හා දරු දෙදෙනාට ඇවැසි සියළු දේ සිංහයා විසින් සැපයූ නමුදු ඔවුන් හට සිංහ
ගුහාවෙන් පිටතට යෑම තහනම් විය. සිය පුතා වැඩිවිය පැමිණි කල සිංහ ගුහාව විසල්
ගලකින් අහුරා සිංහ තෙම කෑම සපයා ගැනීම උදෙසා පිටත්වූ බව පැවසේ.
සිංහබාහු හට වයස දහසයක් වූ කල විසල් ගල පෙරලා තම මව හා
සෙහොයුරිය සමග වංග දේශයේ අගනුවර වෙත පලා ගිය බව පැවසේ. පළමුව අතිශය දුකට පත්වූ
සිංහයා පසුව වියරු වැටී ගම් නියම් ගම් පැන මිනිසුන් මරා දැමීමට පටන් ගෙන ඇත.
සිංහයා මැරීමට කිසිවකු සමත් නොවූ කල සිංහබාහු ඉදිරිපත් වීළු. පුතු දුටු කල සිංහයා
සෙනෙහසින් ඉදිරියට පැමිණි කල, සිංහබාහු තම දුන්නෙහි තැත මුදවා හැරීය. පළමු දෙවැනි හී
පහර දෙකම සිංහයාගේ ස්නේහය නිසාවෙන්ම නළලත වැදී බීම වැටිණි. පසුව සිංහයා කිපුණේය.
තුන්වන හී සර සිංහයාගේ හදවත පසාරු කලේය. එම වීර ක්‍රියාවට වංග දේශයේ කිරුළ
සිංහබාහුට පිරිනැමුනු බව කියැවේ. මෙය නිෂ්ප්‍රභා කල ඔහු, තම මවගේ ජන්ම භූමිය වන වගු රටෙහි සිංහපුර නමින් නව
පුරවරයක් පිහිටුවා සිංහසීවලී ආවාහ කොට ගෙන ජීවත් වීළු. ඔවුනට දරුවන් තිස් දෙදෙනෙකු
ලැබුනු අතර, වැඩිමහල්ලා විජය වූ අතර සුමිත්ත දෙවැන්නා විය."
සරත්චන්ද්‍රයන් සිංහබාහු නාට්‍යයට සිංහල ජාතියේ උපත පිළිබඳ මෙකී ජනප්‍රවාදය තේමා
කොට ගත්තද මෙම කතා පුවත දෘශ්‍ය කාව්‍යයට නැංවීමේදී මුල්ම බීජය එතුමන්ගේ සිත්හි
ජනිත වූයේ මහා වග්ග පාලියේ එන සුදොවුන් රජතුමා බුදුන් වහන්සේගෙන් කළ ඉල්ලීමක් බව
ප්‍රකට කරුණකි. එනම්;
“පුත්‍ර ප්‍රේමය වනාහී
හම සිඳී, හම සිඳ මස සිඳී, මස සිඳ නහර සිඳී, නහර සිඳ ඇට සිඳී, ඇට සිඳ ඇට මිදුළු
තෙක් කිඳා බැස එහි රැඳී සිටී”
යන්නය. මෙය සරච්චන්ද්‍රයන් අතින් සිංහබාහු කතා පුවත තුළින්
දෘශ්‍ය කාව්‍යයකට නැංවෙන්නේ මානුෂික සහ සම්බන්ධතාවන් හා ගැටලු විශ්ව සාධාරණ
ගුණයෙන් පරිසමාප්තියට පත් කරමින්ය.
"පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇටමිදුළු මත රඳා සිට
දුක් දෙයි නිබන්දා. . .”
යන දාරක සෙනෙහස පසුබිම් කොට පිය - පුතු ගැටුම සිංහබාහු කතාව තුළින් නිරූපණය කරන
සරච්චන්ද්‍රයෝ තම නිර්මාණය පිළිබඳව සිංහබාහු ප්‍රස්‌තාවනාවේ මෙසේ සඳහන් කරති.
"සිංහබාහු නාටකයේ වස්‌තුව විකාශනය වන්නේ එහි පාත්‍රයන් නිදහස් පුද්ගලයන් සේ සිතා මතා කරන ක්‍රියාවල අනිවාර්ය ප්‍රතිඵල වශයෙනි."
"සිංහබාහු නාටකයේ වස්‌තුව විකාශනය වන්නේ එහි පාත්‍රයන් නිදහස් පුද්ගලයන් සේ සිතා මතා කරන ක්‍රියාවල අනිවාර්ය ප්‍රතිඵල වශයෙනි."
මනමේ හි මෙන් ආකස්‌මික බලවේගයන්ට ගොදුරු වීමක් හෝ
හදිසියේ ගන්නා තීරණයක් නිසා නොව සිංහබාහු හි චරිත ක්‍රියා කරන්නේ ඔවුන් සිතා මතා
ගන්නා තීරණ මතය. එබැවින් සිංහබාහු වඩාත් ප්‍රායෝගික අත්දැකීමක් රසිකයා හමුවට ගෙන
ඒමට සමත් වේ. මෙසේ නිර්මිත සිංහබාහු නාටකයේ තම නාඹර පුතුගේ අභිලාෂයන් පිළිබඳව
අනවබෝධයෙන් යුත් සාම්ප්‍රදායික මධ්‍යම පාන්තික පියකු සේ නිරූපිත එහෙත් අඹු-දරු
සෙනෙහසින් නොඅඩු සිංහයා මෙන්ම දාරක ප්‍රේමය හා ස්‌වාමි භක්‌තිය අතරමැදි වී කටයුතු
කරන සුප්පා දේවිය ද තම උරුමය සොයා යන සිංහබාහු ද යන චරිත තුළින් සරච්චන්ද්‍රයන්
පරිසමාප්තියට පත් කරන මෙම අසාමාන්‍ය දෘශ්‍ය කාව්‍ය පවුල් සංස්‌ථාව විපරීතභාවයට
බඳුන් වන වත්මන් සමාජයේද හදවත් සසල කිරීම අරුමයක් නොවේ.
සිංහබාහු නාට්‍යය මගින් ඉදිරිපත් කෙරෙන මානව සබඳතා
කිහිපයකි. එනම්,
© සැමියා-බිරිඳ
© පියා-දරුවන්
© මව-දරුවන්
© දරුවන්-දරුවන්
යනුවෙනි.
මේ සබඳතා පාදක කර ගනිමින් වත්මන් සමාජ සන්දර්භය තුළ පවතින පිය - පුතු සම්බන්ධය
විශේෂ කොට ප්‍රේක්ෂකයා හමුවේ ප්‍රතියමාන
කිරීමට සරච්චන්ද්‍රයන් ගත් උත්සාහය අති විශිෂ්ඨය. සිග්මන් ප්‍රොයිඩ්ට අනුව කුඩා පිරිමි දරුවකු සිය ළමා කාලය තුළ වැඩි
වශයෙන් ආකර්ෂණය වන්නේ මවටය. ඔහු පෙන්වා දෙන්නේ කුඩා කළ පිරිමි දරුවා තුළ මව කෙරෙහි
ඇති මෙම සබඳතාව වැඩි වියට පත් විට පියාගේ ආධිපත්‍ය නිසා කිසියම් ගැටලුකාරී තත්වයකට
එළඹෙන බවයි. එනම් සිය පියා කෙරෙහි නොරිස්සුම් සහගත හැඟීමක් පිරිමි දරුවා තුළ ඇති
වෙයි. පිය-පුතු සබඳතාව සෑම විටම විකාශනය වන්නේ මේ සංකීර්ණ තත්වයන් යටතේය. සිංහබාහු
නාට්‍ය මගින් ප්‍රේක්ෂකයා වෙත ප්‍රබල ලෙස මේ ගැටුම නිරුපණය කිරීමට සරච්චන්ද්‍රයන්
උත්සුක වී ඇති බවක් දක්නට ලැබේ.
“නැත පියාණෙනි කිසිදු මන දොළ
සමා වුව මැන දොසක් වී නම්
වෙසෙන සඳ මේ පාලු ලෙන තුළ
නෙක් දිසා සිත පියඹා යයි”
නාට්‍යයේ එක් අවස්ථාවක සිංහබාහු තම මව්පියන්ගේ
සැබෑ තතු හෙළි කර ගන්නවා. එම අවස්ථාවේ සුප්පා දේවිය තම දෙදරුවන් ලඟට කැඳවා,
“වගුරට නරනිදු දඹදිව පරසිඳු
හට දා වූ මම වෙමි දෙටු දූ
සරණ ගිය හිමි සමිඳුනේ
සමඟ වෙසෙමිය ගිරි ලෙනේ. . .”
යනුවෙන් තමන් කවුරුද යන්න දරුවන්ට හෙළි කරයි.
මෙහිදී මවගේ සුදුසුකම් ලෙස සිංහබාහු
දකින්නේ ඇයගේ ඉහල පාන්තික සුදුසුකම් පමණයි.
“සිංහයෙක් වේ මා පියා
ජන්මයෙන් ලත් මේ අරන්නේ
පුරුදු වූ වැසේ සදා. . .”
“කුමරියක් වේ මගේ මව්
උත්තරීතර ජන්ම ලද්දී
උරුම වූ යස ඉසුරටා
මටද හිමි වේ වංග රාජ්‍යය
ප්‍රබල නරවර පරපුරෙන්
කුමක් දෝ මේ පාපේ ලෙනේ
මේ විසීමේ සෙතක්දෝ. . .”
මවගෙන් තම උරුමය දැන ගන්නා සිංහබාහුට අවශ්‍ය වන්නේ
වනයේ ජිවිතයට සමු දී රජ සැප සොයා යන්නටය. ඒ වෙනුවෙන් ගල්ලෙන සිර කර ඇති ලෙන් දොර
බිඳ මවත් නැගණියත් සමග පියාගෙන් මිදී යාමට ඔහු ක්‍රියා කරයි. ආදරණිය බිරිඳත්, දරු
දෙදෙනාත් වෙනුවෙන් අපරිමිත සෙනෙහසක් හදෙහි දරා සිටි සිංහ තෙම වනයේ පළ වැල නෙලා
පැමිණෙන විට ලෙන් දොර බිඳ ඇති බව දැක වියරුවෙන් කෑ ගසයි. එය ආදරය. සෙනෙහසින් පිරි ප්‍රිය
විප්පයෝගය නිසාවෙන් හට ගත්තකි.
“ගල්ලෙන බිඳලා. . . ලෙන් දොර ඇරලා
සිංහබා. . . . සිංහබා. . . . සිංහබා. . .
මා සොඳුර. . . මා සොඳුර. . . මා සොඳුර. . .
සිංහ සීවලී . . . මා ප්‍රිය දියණිය. . .
ගල්ලෙන බිඳලා ලෙන් දොර ඇරලා
ගොසින් සැම දෙන නැතේ කිසිවෙක්
මම දැන ගතිමි. . . මම සැක කළෙමි
සිංහබා. . . . සිංහබා. . . . සිංහබා. . .
ලෙන තුළ නොවෙති - පෙරලා නොයෙති
මම දැන ගතිමි - මම සැක කළෙමි
සුරතල් දියණිය මොළකැටි වදනින්
මා සනසන්නිය අහර පිසන්නිය
කවන්නිය . . . පොවන්නිය. . .
මා ගැන. . . බිය වන්නිය
වනයේ දුකක් වෙද. . . අසන්නිය. . . සොයන්නිය
ඈත් ගොසින්ය. . . ඈත් ගොසින්ය
ඇයි සුදු දුවනියේ නුඹවත් නොසිටියෙ
සොහොයුරා නම් ඔළ මොළ ගති ඇත
නුඹ මෙන් මුදු නැත
ඔහුගේ අණටද කීකරු වූයේ
පෙරලා එන්නේද ඔහුගෙන් ගැලවී . . .”සිංහබාහු තුළ හට ගන්නා චිත්තාවේග හුදෙක් ලෙන තුළ සිර කිරීමක් නිසාම හටගන්නක් විය හැකිද? මේ ආවරණ සහිත ලෙන නම් පිතෘ ආරක්ෂාව නොවේද? සිය පුතු කෙරෙහි උපන් ආදරය නිසා පියා විසින් සිය දරුවා රැක ගනු ලැබීම සඳහා ගනු ලබන පියවර නොවේද? සිංහයා යනු හුදෙක් සිංහබාහුගේ පියා පමණක් නොවේ, සමස්ත පියවරුන්ගේ නියෝජනයකි. නාට්‍ය අවසන සිංහබාහු විසින් පියා මැරීමට සූදානම් වන අවස්ථාවේ සිංහයාගේ මුවින් පිටවන මේ වදන් එකී අදහස ප්‍රත්‍යක්ෂ කරනු නියතය.
“ප්‍රේමයෙන් . . . .
රැකුයේ මෙපුතා නොවේදෝ
ආන්තරායෙන් රැකගෙන වනයේ
ප්‍රේමයෙන් . . . .
රැකුයේ මෙපුතා නොවේදෝ
මා මරණට දැන් එන්නේ මෙලෙසා
ඔද වැඩි හින්දා දෝ යෞවනයෙන්”
සමස්තයක් වශයෙන් ගත් කළ ස්‌වකීය පරිපාකයට පත් බුද්ධි මහිමයෙනුත්, නිර්මාණ කෞශල්‍යයෙනුත් අසමසම ප්‍රතිභාවෙනුත් සකල
කලා පිළිබඳ ඇසූ පිරූ තැන් ඇති අපේ සංස්‌කෘතික විඥනය අතැඹුලක් සේ ග්‍රහණය කරගත්
සරච්චන්ද්‍රයන්ගේ මෙම අසමසම දෘශ්‍ය කාව්‍යය වූ සිංහබාහු වසර පනහකටත් පසුව අද පවා
සිංහල නාට්‍ය වංශයේ සදා තාරුණ්‍යයෙන් හෙබි කලා කෘතිය බැව් සඳහන් කිරීම වටී.
Nimai
ReplyDeleteTnx..😊
Deletethanks
Deleteමේ සටහන බොහෝ සෙයින් අගය කරමි...
ReplyDeleteබොහොම ස්තූතියි
DeleteGodak watina satahanak ba prakasha karami
ReplyDeleteස්තූතියි
Deleteස්තුතියි
ReplyDeleteඅපූරු සටහනක්
ReplyDeleteවැදගත් නිර්මාණයක්
ReplyDeleteගොඩාක් වටිනා අදහස් .පින් .
ReplyDelete