පන්හිඳට පිවිසෙන්නන්

Monday, July 10, 2017

වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ . . .






ඇහෙන ඇහෙන වාරයක් පාසා හදවත රිදුම් දෙන මේ සොඳුරු ගීතයේ ගැබ් වෙලා තියෙන ඓතිහාසික සිදුවීමේ අක්මුල් හොයාගෙන යන්න හිතුණා. සීගිරි කාශ්‍යප රජතුමා කියන්නේ ලාංකීය ඉතිහාසයේ නොමැකෙන සළකුණක් තියපු රජ කෙනෙක්. ලෝකේ අටවෙනි පුදුමය ලෙසින් විරුධාවලිය ලබන සීගිරිය නිර්මාණය කරන්නේ කාශ්‍යප රජතුමා. මේ ගීතයේ ගැබ් වෙලා තියෙන සිදුවීමෙන් පසු කාලයේ තමයි එතුමා සීගිරි බලකොටුව නිර්මාණය කරන්නේ. එතුමාගේ පියා තමයි ධාතුසේන රජතුමා.

මෞර්ය වංශික ධාතුසේන රජතුමාට හිටියා පුතුන් දෙදෙනෙක් සහ රූමත් දුවෙක්. මෙයින් වැඩිමල් කුමාරයා  තමයි කාශ්‍යප. ඒත් කාශ්‍යපගේ මව අග බිසව නෙවෙයි. අග මෙහෙසියගෙන් ලැබුණ පුතා තමයි මුගලන්. ඒ නිසාම රජකම නිත්‍යානුකුලව හිමිවෙන ලකුණු තිබුණේ මුගලන් කුමරුට. ධාතුසේන රජතුමා තම දියණිය රජතුමාගේ සොයුරියගේ පුත් මිගාර සෙනවිට සරණපාවා දෙනවා. මිගාර සෙනවිත්, ඔහුගේ මවත්, රජ දියණියත් අතර ඇතිවෙන ගැටුමක් නිසා මිගාර රජ දියණියට දඬුවම් කරනවා. මේ නිසා කෝප වුණු ධාතුසේන රජතුමා තම සොයුරිය වීදියක නිරුවත් කර ගිනි තබා  මරනවා. මේ සිද්ධියෙන් පස්සේ මිගාර සෙනවි රජතුමා එක්ක වෛර බඳින්න පටන් ගත්තා. රජතුමාගෙන් පළිගන්න හිතන මිගාර ඒකට යොදා ගත්තේ  කාශ්‍යප කුමාරයාව.

රජතුමා අති විශාල ධනයක් සඟවලා තියෙන බව කාශ්‍යපට පැවසූ මිගාර රජකම ගන්නා ලෙස කාශ්‍යපට බල කරන්නට වුණා. ඒ විතරක් නෙවෙයි කාශ්‍යපට රජකම ගන්න තමන් උපකාර කරන බවටත් මිගාර සෙනවි  පොරොන්දු වුණා. මිගාර සෙනවිගේ බස් පිළිගත්ත කාශ්‍යප කුමරු තම පියරජු සිරගත කර  රජකමත් පවරා ගන්නවා.  මේ අතරේ මුගලන් කුමාරයා  ආරක්ෂාව පතාගෙන ඉන්දියාවට පිටත් වෙනවා. කාශ්‍යප නිතරම සැඟවූ වස්තුව ඉල්ලමින් ධාතුසේන රජතුමාට කරදර කරන්නට  වුණා. කාශ්‍යපගේ බලකිරීම් එන්න එන්නම වැඩි වුණා. ධාතුසේන රජතුමා තම පුතුන් දෙදෙනාටම එක සමානව ආදරය කළ නමුත් කාශ්‍යපට  තිබුණ බල තණ්හාව නිසා පියාගේ සෙනෙහස දැනුණේ නෑ. මේ කතාව කියනකොට මතක් වෙන්නේ බිම්බිසාර රජතුමා මරපු පිතෘ ඝාතක අජාසත් කුමාරයාව. මේකත් ඒ කතාවට බොහෝම සමානයි. ආදරණිය කාශ්‍යප අමතන ධාතුසේන රජතුමාගේ මුවින් පිටවෙන සෙනෙහෙබර ආමන්ත්‍රණයක් ලෙසින් මේ ගීතයේ මුල් පද පේලිය ලියවෙනවා.


වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ
ඇයි හදවත රිදවන්නේ
ඇස් දෙක වාගෙයි මුගලන් සහ නුඹ
පිය රජු සෙවණේ උන්නේ 

මේ කිසිවකින් කාශ්‍යපගේ මුරණ්ඩු හිත සනසන්න රජතුමාට නොහැකි වෙනවා. අවසානයේ රජතුමා කාශ්‍යප කුමාරයාට කියනවා වස්තුව දෙන්න කලා වැව ලඟට එන්න කියලා.


බලන්න දෙටු පුත මේ දිය තලයම  
කෙත් වතු සාර කරන්නේ
මට ඇති වස්තුව මට ඇති සම්පත
මේ නිල් දිය කඳ වන්නේ

කලා වැවෙන් දිය දෝතක් ගත්ත රජතුමා කුමාරයාට කියනවා මේ “තමයි මගේ ළඟ තියෙන එකම වස්තුව” කියලා. මේ කතාව අහලා හොඳටම කෝප වෙන කාශ්‍යප කුමාරයා ධාතුසේන  රජතුමා වැව් බැම්මේ තියලා මැටි ගසා මරන්න නියෝග කරනවා.

සිටුවා පස් ගස්වා මා මැරුමට
කව්රුද පුතු සිත බින්දේ  
මා මළ පසු පුත මිහිදන් කළ මැන
කලාවැවේ වැව් බැම්මේ
මගේ කලා වැව සදා රකිනු මැන
අවුකන පිළිම සමින්දේ



මිය යන මොහොතේ රජතුමා කලාවැව රකින ලෙස අවුකන පිළිම වහන්සේගෙන් කරන ආයාචනයකින් ගීතය නිම වෙනවා. අවුකන පිළිම වහන්සේගේ නේත්‍රා පිහිටුවා තියෙන්නේ කලාවැව දෙසට  නෙත් යොමාගෙන සිටින විදියට. රජතුමා කලාවැව හදද්දී භාවනායෝගීව හිටපු රහතන් වහන්සේ නමක් එතනින් අයින් නොවුණ නිසා රහතන් වහන්සේ යටකර පස් දැමීමේ විපාකය මේ විදියට පල දුන් බවටත් මතයක් තියෙනවා.

පසු කාලයකදී මුගලන් කුමරුගෙන් ඇතිවිය හැකි ආක්‍රමණය ගැන බියෙන් පසුවුණු කාශ්‍යප රජතුමා සීගිරි පර්වතයේ රජ මාලිගාවක් සහ බලකොටුවක් නිර්මාණය කරගෙන ජිවත් වෙලා තියෙනවා.








4 comments: