ආසියානු
කලාපයේ තිබෙන රටවල් අතරින් ශ්‍රී ලංකාව දැඩි සංස්කෘතික මතවාද නමැති යදම්වලින් බැඳී
ශක්තිමත්ව පවත්නා රටකි. මෙවන් සංස්කෘතික
උරුමයක් කරපින්නා සිටින අප
සමාජය තුළ තිබෙන ඇතැම් සංකල්ප යල් පැන ගිය බවක් පෙන්නුම් කරයි. මෙම ගීතය හරහාද
එවන් වූ අත්දැකීමක් කලාත්මකව ඉදිරිපත් කර ඇත.
“ආවාට
තිබුණත් නිසසල සඳ මත
එය හරි ප්‍රියංකරයි
මා කාට
නැතිවත් ඔබට පිදූ පෙම
සඳ මෙන්
අහිංසකයි. . .”
ආවාට ඇති
සඳකට පෙම් බඳින ප්‍රේමවන්තයා තම ප්‍රේමය
සඳ මෙන් අහිංසක බව පවසයි. ආවාටවලින් පිරි හඳ ලෙස රචකයා දකින්නේ නිකැළැල් පෙම්වතිය
නොව කැළැල් වූ පෙම්වතියක්ය. ජිවිතයේ යම්කිසි අතපසු වීමකින් ඈ සමාජ සම්මතයන් තුළ ආවාටවලින්
පිරී සඳක් බවට පත් වෙයි. එහෙත් ඈ වෙනුවෙන් නිකිළිටි අහිංසක සෙනෙහසක් පුද දීමට ඔහු
සූදානම්ය. ගතානුගතික සංස්කෘතික ආකල්ප ඉදිරියේ ඇය සැලුණද ඔහු නොසැලී සිටිනුයේ ලොව
නියත දහමට මුල් තැන දෙමිනි.
“මංගල
පෝරුව වෙතට එදා ඔබ
දෙපා නැගූ
ඒ සුබ මොහොතේ
සිහිසන්
නොමැතිව වැටුණු අයුරු දැක
අනුකම්පාවකි
මසිත වෙලා ගත්තේ . . .”
ඇතැම්
සමාජ සංස්කෘතික සම්මතයන්හි පවතින භයංකර බව මේ මගින් සංකේතවත් වේ. මෙය පෙරදිග
සංස්කෘතියේ පුරුෂාධිපත්‍ය හේතුවෙන් ස්ත්‍රියකගේ පමණක් නොයිඳුල් බව සෙවීමේ සම්ප්‍රදායයි.
අවාසනාව වන්නේ පිරිමියා පමණක් නොව ගැහැණියද මෙයට
දායක වීමයි. ලේලියගේ කන්‍යා පටලය පරික්ෂාවට සැදී පැහැදී සිටින්නේ නැන්දම්මා
යන නමින් හඳුන්වන තවත් ගැහැණියක වීම ඛේදවාචකයකි. මෙම සංස්කෘතික දංගෙඩියට හිස
තැබීමට තරම් ආත්ම ශක්තියක් නොමැතිව ඇය සිහිසුන්ව ඇද වැටෙයි.
පෙම්වතාගේ
මානුෂීය ගුණය ඉස්මතු වන්නේ එතැන් සිටයි. ඔහු තුළ ඈ කෙරෙහි දයාවකි. අනුකම්පාවකි.
“සදාකාලයෙන්
සදාකාලයට
අපට උරුම
නැත දුක් කඳුළු
මැළවුණු
මල් පෙති යලි පුබුදන්නට
අපේ ලොවට
හෙට හිරු පායා එනවා. . .”
ඉතාම සරල
වචන මාලාවක් ඔස්සේ ඇතැම් සමාජ සම්මතයන්ට රචකයා අභියෝග කරන අයුරු ප්‍රශස්තය. මෙම
සමාජ සම්මතයන් ඉදිරියේ සදාතනික දුක් කඳුලක් ඇගේ ඇසට උරුම කර දීමට ඔහු සුදානම් නැත.
හෙට දිනයට ඔහු දොර කවුළු විවර කරන්නේ අලුත් ඉරක් දැකීමටය. ඒ අලුත් හිරු එළියෙන් ඇගේ ලෝකයේ මැළවුණු මල් පෙති යළි විකසිත වනු ඇත. උදෑසන ලා හිරු රැස් දවාලක
මෙන් පීඩා නොදෙන බැවින් ඒ ළහිරු කැන් දහරාවන් ඇයට මහත් අස්වැසිල්ලක් වනු ඇත. ඇතැම් විට මේ අලුත් හිරු එළිය ඔවුන්ගේ ජීවිතවලට අමුත්තෙකු ලෙස පැමිණෙන කුඩා බිළිඳෙකු වන්නට
පුළුවන.
මෙම සමාජ
සංස්කෘතිය තුළ ගැහැණුන් දහසක පහස ලැබූ පුරුෂයා මංගල යහනකදී නොයිඳුල් කන්‍යාවක
පැතීම මෙන්ම එය නොලැබුණු විට ගැහැණියට ගර්ජනා කිරීම ගෝත්‍රික චාරිත්‍රයක් මිස අන්
කවරක්ද? සරල ගීතයක් තුලින් වුවද ගීත රචකයා බුද්ධිමය සංවාදයකට දොර කවුළු විවර කරයි.
Ape lowata heta hiru payanawa
ReplyDelete