ක්‍රි:ව
606 - 647 දක්වා වූ වසර 41 තුළ භාරත දේශයේ කානවුජ්හි රජ කළ ශ්‍රී හර්ෂදේවයන්
විසින් රචනා කරන ලද රත්නවලියට වස්තු වූයේ පාලි සාහිත්‍යයෙහි දක්නට ලැබෙන වත්ස රජ
චරිතයයි. ශ්‍රී භාෂයන්ගේ “ස්වප්න වාසවදත්තාව” ට වස්තු වූයේද මෙයමයි. නාට්‍ය
සමස්ථයක් ලෙස ගෙන රස විදීමේදී ශ්‍රී හර්ෂදේවයන් නාට්‍ය රචකයෙකු ලෙස දැක් වූ
දක්ෂතාවය මනාව අවබෝධ කොටගත හැකිය. රත්නාවලී කතා පුවත සැකෙවින් මෙසේය.
කොසඹෑ
නුවර වත්ස (උදේනි ) රජු බලයෙන් පිරිහෙනු දුටු අගමැති යලිත් රජු යථා ස්ථානයේ පිහිටුවාලීමට
මාන බැලුවේය. ඔහු වික්‍රමභාහු නම් සිංහල රජුන්ගේ රත්නාවලී නමැති දියණිය රජුට ආවාහ
කර දෙන මෙන් ඉල්ලා සිංහල දේශයට දූතයන් යැවීය. එහෙත් එය රජුගේ අග බිසව වන
වාසවදත්තාට කරන බලවත් අකටයුත්තක් සේ සැලකු සිංහල රජු එයට එකඟ නොවීය. කෙසේ හෝ සිය
අභිලාශය මුදුන් පමුණුවා ගැනීමට සිතූ අගමැති අන්තඃපුරයේ පැතිරුණු ගින්නකින් වසවදත්තා බිසව මිය ගිය බවට ආරංචියක්
පතුරුවා හැර, අනතුරුව රත්නාවලී කුමරිය රජුට පාවා දීමට සිංහල රජු කැමති කරවා
ගත්තේය. එහෙත් අතරමගදී නැව බිඳී රත්නාවලී කුමරිය මුහුදු වෙරළට පා වූවාය. ඉක්බිති
කෙසේ හෝ අගමැතිට හමු වූ ඇය “සාගරිකා” යන අපර නාමයෙන් යුතුව වසවදත්තා බිසවට භාර කරන
ලදී. කුමරියත් බිසවත් එකිනෙකා හඳුනා ගැනීමට අපොහොසත් වුහ. මෙසේ සිටින අතර රජු හා
සාගරිකා අතර අන්‍යෝන්‍ය ප්‍රේමයක් හට ගනී. මේ මෙම හබය වාසවදත්තාට හිසරදයක් විය. ඈ සාගරිකා
රජුගේ දර්ශනයෙන් ඉවත් කිරීමට වෑයම් ගනී. ඉවසිය නොහැකි තැන බිසව සාගරිකා යමින් බැඳ අන්තඃපුරයේ
සිරකර තබයි. එහෙත් අවසානයේ අගමැති විසින් එවන ලද ඉන්ද්‍රජාලිකයෙකු නිසා යලිත්
සාගරිකා මුණ ගැසීමේ අවස්ථාව රාජිට හිමි වේ.
මේ මොහොතේ සිංහල රටින් පැමිණ සිටි අමාත්‍යවරයා රත්නාවලී කුමරිය හඳුනා ගනී. අනතුරුව
සාගරිකා හඳුනා ගන්නා වාසවදත්තා බිසව සියතින්ම ඇය රජුට පාවා දෙයි.
රත්නාවලියෙහි උදේනි රජු, සාගරිකා (රත්නාවලි),
වාසවදත්තා සහ විදූෂක යන ප්‍රධාන පෙළේ චරිත නිර්මාණය වන්නේ එක් චරිතයක් අනෙක් චරිතය
හා ගැටෙන ආකාරයෙනි. එබැවින් චරිතාන්තර සම්බන්ධය ගැන මනා අවබෝධයක් ලබා දීමට රචකයා
බොහෝ උත්සාහ දරා ඇත.
යම්
යම් පරිසර වර්ණනා සහ එම පරිසරවල ගැවසෙන චරිතවල ස්වරූපය,
වර්ණනා යනාදිය ගැන රචකයා විශේෂ අවධානයක් යොමු කරන ආකාරය පෙන්වීමට 1 වන
අංකයෙහි විදුෂක සහ රජු වසන්ත උත්සවශ්‍රිය
නරඹන විට ඔවුන් තුළ ඇති වූ රාගික හැඟීම් ගීතයට නගා ඇත්තේ මෙසේය.
රජ : (අවට
බලා )
පැතුරුණු
සුවඳ සුණු අරුණලු පැහැය තුලා
නේ මිණි රුවන්
කැල්මෙහි ගැලුණු මනා කලා
සරතස ගතේ
පා කර දිලෙන දිය වැලා
සිහියට
නගයි නා ලොව සිරිසර විසුලා (නිශ්ශංක
පරිවර්තනය )
රජතුමාට
දැන් දැන් පෙනෙන්නේ පයෝධර උලුප්පා නටමින් එන සේවිකාවන්ය. රජ කාමුකය. ඔහුගේ කාමුක
බවට අගුල්පත් දමන්නේ විදුශකය. විදුෂක බමුණෙකි.රජු ක්ෂත්‍රිය වංශිකයෙකි. රාජ චරිතය
මුලින් දක්වා තිබෙන්නේ සැහැල්ලු දිවි පැවැත්මෙන් යුත් තැනැත්තෙකු ලෙසින්ය. තවද දාසීන්
නටන විට රජතුමාට පෙනෙන්නේ ඔවුන්ගේ පයෝධරයෝය. ඒ දෙස රජු විස්මයෙන් නෙත් හෙළයි.
එහිදී ඔහු ප්‍රකාශ කරන්නේද රතිය දනවන වදන්ය. මකරන්ද උයනට යන රජුගේ සිතට දැනෙන්නේ
මධුසමය පිලිබඳ වූ හැඟීම්ය. වාසවදත්තාගේ හැඩරුව නරඹන රජු රතියෙන් මත් වී රති සාප
විඳීමට දේවිය සමඟ මාළිගයට පිවිසෙයි. ඇතැම්
අවස්ථාවලදී රජ ප්‍රේක්ෂකයාගේ අවඥාවටද ලක්වෙයි. සුසංගතාගේ කපටි බස්වලට රැවටී දේවියට
බියෙන් ඇගේ කට වැසීම, කර්ණාභරණයක් දීම එවැනි
තැනකි. එහෙත් රජුගේ චරිතය සකස් වී ඇත්තේ ස්වභාවික කුලීනත්වයෙන් දේවියට සේවය
කිරීමත්, සාගරිකා කෙරෙහි පෙම් බැඳීමෙන් වැදුණු යම් අධික ප්‍රීතියක් වේ නම් එය විඳ
ගැනීමත් යන බලවේග දෙක ඔහු කෙරෙහි බලපෑ ආකාරය අනුවය. රජතුමාගේ සිත්හි මේ අන්‍යෝන්‍ය ව්‍යාපාර දෙකෙහි
ඝට්ඨනය දක්නට ලැබෙන්නේ සාගරිකා ඔහුගේ දිවියට ඇතුල් වීමෙන් පසුවය. සාගරිකා හමු වීමට
පෙර රජතුමා වාසවදත්තා නිසා දෘශ්‍ය සහ ස්පර්ශ කාමයට කැමති විය.
රජ : “ප්‍රියාව
නොබෝ වෙලාවකට පෙර ජලස්නානයෙන් අතිශයින් බබළන
ශරීර කාන්ති ඇත්තා වූ, වනුප් මල් රැඳවිමෙන් මනහර වැ දිලිසෙන වස්ත්‍රයෙන් මනෝහාරී
වූ අනංගයා පුදන තී ලදළුයෙන් සැරසුණු
රුකෙක්හි වැලක් මෙන් බැබළෙන්නේහි”
(පඤ්ඤාසාර
පරිවර්තනය)
එහෙත්
රජතුමාට මකරන්ද උයනෙහි දී සාගරිකා ගැන දැනගන්නට ලැබේ. ඉන්පසු වාසවදත්තා නිසා රජු තුළ පෙර මෙන් රතිය වැඩුණේ නැත. දැන් ඇය පිළිබඳව ඔහු තුළ තිබෙන්නේ “ස්වභාවික කුලීනත්වය” නිසා ආරක්ෂකයා ලෙසින් යුතුකම්
ඉටු කිරීම වැනි හැඟීමකි. සාගරිකා දුටු පමණින් ඇය පිළිබඳ ප්‍රේමයක් රජුගේ සිත තුළ
ඇති වූ බව පිළිගත හැකි කරුණකි. සාගරිකාට රජුගේ ප්‍රේමයත් වාසවදත්තාට රජුගේ සේවයත් කැප
වූ අයුරු රචකයාගේ මේ විස්තරයෙන් වටහා ගත හැකිය.
රජ :
(කලබලයෙන් නැගිට) ආ! අන්තඃපුරයෙහි ගිනි. අහෝ ! වාසවදත්තා දේවිය දැවිණි. හා ! ප්‍රිය වාසවදත්තාව”
(පඤ්ඤාසාර
පරිවර්තනය)
වාසවදත්තා
තමා ළඟ සිටින වගවත් රජුට අමතක විය. මේ ව්‍යසනාවස්තාවෙහි ඔහුට සිහි වූයේ අග මෙහෙසිය
වූ වාසවදත්තාය. සාගරිකා නොවේ. රජුගේ සිතේ වාසවදත්තා කෙරෙහි ඇති වූ භක්තිය “තමා ඇගේ
ආරක්ෂකයාය” යන හැඟීම මැනවින් නිරූපණය වී ඇත.
රජතුමාගේ
චරිත නිර්මාණයට වාසවදත්තාට වඩා විශාල තැනක් නාට්‍යයෙහි වෙන්කර ඇති නිසා ඇගේ චරිතය
අඩුවෙන් විග්‍රහ වී ඇත. එබැවින්
වාසවදත්තාගේ චරිත නිර්මාණයද සාර්ථක වී ඇත.
ඇගේ
චරිතය දුක්බර හා ශෝඛාකූල ලෙසින් විග්‍රහ වී ඇත. සිය සැමියා තමාට පමණක් අයිති කර
තබා ගැනීමට සිය දිවි දෙවැනි කොට ආදරය කළ තැනැත්තියකට අවසන උතුම් පරිත්‍යාගයක්
කිරීමට සිදු වෙයි. සාගරිකාගෙන් තම සැමියා වෙන් කිරීමට මුලින් ඈ තැත් කළාය. එහෙත්
අන්තිමේදී ඇය කරන්නේ;
“ආර්ය
පුත්‍රය, මැයගේ පිතෘ කුලය ඉතා දුරය. එහෙයින් ඥාතීන් සිහි නොකරන සේ පිළිපදිනු මැනව”
යනුවෙන් පවසා සාගරිකා රජුට පාවා දීමය. එවැනි දෙයක් කිරීමට තරම් අවංක උදාරබවක් ඇය
තුළ පිහිටා තිබුණි. ඇය කළේ විශාල ආත්ම පරිත්‍යාගයකි. සාගරිකා
සහ සිය සැමියා අතර සම්බන්ධය ඇගේ අතටම හසු වුණි. එහෙත් ඇය සිය සැමියාට දොස් කීවේ
නැත. සිය පා මුල වැටුණු සැමියා ගැන සිතන ඇය පශ්චත්තාප වී ඔහු සැනසීමට වැයම් කරයි. ඇය උණුවෙන ළයකින් හා පති භක්තියෙන් යුත්
තැනැත්තියක් බව ඉන් පෙනේ.
සාගරිකාගේ
එනම් වෙස් මාරු කර සිටින රත්නාවලී කුමරියගේ චරිතය මුල්කරගෙන මේ නාට්‍ය සකස් කොට
ඇති නමුත් ඇගේ චරිතය වැඩි වශයෙන් විකාශනය
වී ඇත්තේ සිදුවන දෙය උද මිස ඇය කරන කියන දෙය අනුවම නොවේ. මෙහි
ප්‍රධාන පරමාර්ථය සාගරිකාගේත් උදයන රජුගේත් එක් වීමය. සාගරිකා උදයන රජ පිලිබඳ සිත්
ඇතිකර ගන්නා අවස්ථාවේ සිට ඔහු හා විවාහ වනතුරු ඇය වැඩි වශයෙන් ප්‍රයත්නයක් දැරී
යැයි කිව නොහැකිය. දෛවයේ ආරක්ෂාවත් යෞගන්ධරායණගේ උපක්‍රමවල ආධාරයත් ඇති නිසා ඇයට
උදයන රජු ලබා ගැනීමට හැකි වේ. සූත්‍රධාර පළමුවන අංකයේ ප්‍රවේශකයෙහි පවසන ලෙස “කෙනෙකුගේ
ඉරණම කාටවත් වලක්වන්ඩ බෑ” යන්නෙන් ඒ ඉරණම අනුව උදයන රජතුමා සාගරිකාට ලැබෙන්නට
තියෙනවා නම් එය සිදුවිය යුතුමය. එය දෛවයට අනුව සිදු වන්නක් නිසා සෑම සිදුවීමක්ම එයට
අනුගතව සිදු වේ.
සාගරිකාට
රජතුමා මුල්වරට මුණ ගැසෙන්නේ සැළලිහිණියා ඇයගේ වචනය අසා එයම යළි යළි කියවූ නිසාය.
රජුගේ මේ වදන් ඒ බව පවසයි.
“පීඩිත
අනඟ සර පහරට අසුව ඉතා
අඟනක්
යෙහෙලියන් අභියස කරන කතා
ළපැටින් හා
ගිරා-සැළලිහිණියන් අතා
යැවේ ඉරණමින්
බැඳ දැන සවන් වෙතා”
අනෙක්
අතට සාගරිකා සමඟ එකතු වීමට ඇති එකම මාර්ගය බිසව සමා කරවා ගැනීම බව නියතාප්තියේ සඳහන්
වෙයි. එසේම සාගරිකාගේ සැබෑ ස්වරූපය අනාවරණය වන්නේත් දෛවෝපගත ආකාරයකටය. එබැවින් සාගරිකාගේ
සිත තුළ වාසවදත්තාගේ තරම් දැඩි මානසික ඝට්ටනයක් දිස් නොවෙයි.
මෙම සියලු චරිත පාදක කොට ගනිමින් ප්‍රේක්ෂකයාගේ සිත තුළ අපුර්ව වූ රසයන් ජනිත කරවීමේ හැකියාව රත්නාවලී නාට්‍ය සතු බව කිවමනාය.
No comments:
Post a Comment