පන්හිඳට පිවිසෙන්නන්

Friday, August 11, 2017

දුවේ නුඹ මගේ ප්‍රාණයයි. . .



අම්මා සඳක් වුණු මගේ ලෝකේ මුළු අහසම නුඹයි තාත්තේ.... පාරේ ගිය ත්‍රී වීල් එකක තිබුණ ලස්සන වදනක් මගේ ඇස් ඉස්සරහ නතර වුණා. ඇත්තටම ඒ වචන අස්සේ හැංගිලා තියෙන අදහස කොච්චර නම් සුන්දරද? අම්මලා තරමට දරුවන්ට සමීප නොවුනත් තාත්තගේ ආදරේ නොසැලෙන මහා මෙරක් වගේ හැමදාමත් හදවත ගැඹුරුම තැනකට වෙලා දරුවන් දිහා බලාගෙන ඉන්නවා. දරුවෝ පුංචිම කාලේදී අත් දෙකෙන් අල්ලලා ඇවිදින්න පුරුදු කරපු හැටි, කර උඩ තියාගෙන ඇවිදපු හැටි, තුරුලට අරගෙන හුරතල් කරපු හැටි, අම්මගේ තරවටුවලින් බේරගත්ත හැටි. . . . තවත් සුන්දර මතකයන් ගොඩක් තාත්තගේ හදවතේ හිර කරගෙන හෙමි හෙමින් ලොකු මහත් වෙන දරුවෝ දිහා උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා ඇති. සමහර වෙලාවට අපිට නොදැනෙන්න අඩන්න ඇති. . .  අපේ දියුණුව දැකල කාටත් වඩා තාත්තට සතුටු හිතෙන්න ඇති.



ඒ විදියට පපුතුරේ හංගගෙන ඉන්න තාත්තගේ ආදරය ලස්සන පද වැලකට ගැලපුණ ගීත බොහොමයක් තියෙනවා. බණ්ඩාර ඇහැලියගොඩ මහතාගේ පද රචනයකට රෝහණ වීරසිංහයන්ගේ සංගීත පාවඩ මතින් සුනිල් එදිරිසිංහයන්ගේ හඬ මුසු වීමෙන් අපූරු ගීතයක් බිහි  වෙනවා. තම ආදරණිය  දියණියගේ මංගල දවසේ පියෙකුගේ මුවින් පිටවෙන සෙනෙහෙබර ආමන්ත්‍රණයක් ලෙසින් කියවෙන “දුවේ නුඹ මගේ ප්‍රාණයයි” ගීතය  එකී තේමාව අපුර්වත්වයෙන් යුක්තව රසිකයන් අභිමුවට ගෙන එනවා.



“දුවේ නුඹ මගේ ප්‍රාණයයි
සැබෑ වුණ සුබ සිහිනයයි
සෙනෙහසින් කුල ගෙට පියනගන්නේ
සනුහරේ අභිමානයයි. . .”

විවාහ පත් වුණු සෑම පිරිමියෙක්ම පිය පදවිය ලැබීමේදී දකින එකම සිහිනය නම් දියණියකි. පියවරුන් පිරිමි දරුවන්ට වඩා ගැහැණු දරුවන්ට වැඩි කැමැත්තක් දක්වන බව රහසක් නොවේ. මේ පියාද තම දියණිය දකින්නේ එලෙසිනි. ඒ නිසාම පියා  දියණිය  පණ වගේ රකිනවා. ඒ විදියට ඇති දැඩි කරන ආදර දියණිය පතිනියක් ලෙසින් කුලගෙදරට පිය මනින දිනයේ  ඇයගේ චරිතවත් බවට පියාගෙන් සහතිකයක් ලැබෙනවා. ඒ තමයි දියණිය හොඳට හැදී ඒ සනුහරේටම අභිමානයක් ලෙසින් නිවසින් පිටව යාම.


“මම මලක් සේ නුඹ නොහැදුවේ
පෙති තැලී පරවෙන නිසාමයි
දුක දිනා හිනැහෙන හැටි දුවේ
නුඹ දැන උගත් පාඩම තමයි. . .” 

මල් වැස්සට තෙමෙනකොට පෙති කඩාගෙන වැටෙනවා. තද හිරු රශ්මියට වියලී යනවා. මේ බව තමන්ගේ අත්දැකීමෙන් දන්නා පියා දියණියව මලක් වගේ නොහදන්න තීරණය කරනවා. වයසින් මුහුකුරා යද්දී දියණියගේ ජිවිතයට  දුක දැනෙන්න ගන්නවා. ඒ නිසාම නියමිත වයසේදී දුවට දුක ජය ගන්නා විදිය අමුතුවෙන් කියා දෙන්න ඕනෙ නෑ. මලක් වගේ හැදුවොත් මේ කටුක සමාජයේ සැඩ සුලන් පහරට අහුවෙලා දුවගේ ජීවිතයට ඒ කුහකකම් දරා ගැනීම අපහසු වෙන්න පුළුවන්. ගැහැණියට මහ පොළව වගේ දරා ගැනීමේ ශක්තියක් තියෙන්න ඕනි. මොකද මේ සමාජය ගැහැණිය දෙස බලන්නේ පිරිමියාට වඩා වෙනත් ලෙසකින්. එය සුඛදායක වගේම දුක්ඛ දායක වෙන්නත් පුළුවන්. ඒ නිසාම දියණියකට ඕනිම දුකක් දරා ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනි. පිරිමියාව නහවා ගෙට ගන්නා සමාජය ගැහැණියගේ පිරිසිදු බව සුදු පිරුවටයකට සිමා කිරීම කොතරම් දුරට සාධාරණදැයි සැකයකි. එහෙත් මේ පියාට සමාජය වෙනස් කළ නොහැක. ඒ නිසාම චරිතවත් බවින් පිරිපුන් දුවණියක් සැදීමට පියා උත්සාහ ගෙන ඇත. මේ පියා දියණිය මලක් වගේ නොහැදු නිසා ඇයට දුක දරා ගෙන හිනැහෙන්න පුළුවන්.





“මිල මුදල නිළ බල යා නොදෙයි
කළ හොඳම විතරක් ඉතිරි වෙයි. . .”


විශාකාව  විවාහ කර දෙන  දිනයේ ඇයගේ පියා ඇයට වටිනා උපදෙස් කිහිපයක් ලබා දුන් බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. ඒ ලෙසින්ම මේ පියාත් දියණියට තම විවාහ ජීවිතය සාර්ථක කරගන්න මේ විදියට උපදෙස් දෙනවා. මිල මුදල් හා නිළ බලවලට ජීවිතය සාර්ථක කළ නොහැක. එය තාවකාලික සතුටකි. ඊට වඩා තමා පෙර කළ හොඳ  පමණක් ඉතිරිවන  බවට පියා උපදෙස් දෙයි.


“අප මී මුතුන් මිත්තන් එදා
සිය ලේ කඳුළු දහදිය හෙලා
පරපුරෙන් පරපුරට රැගෙන ආ
ඒ ගෞරවය මගේ දුව තමා
නුඹ යන්නේ හිස් දෑතින් නොවේ
ගෙනියන්නේ ඒ අභිමානයයි. . .”



කාන්තාවකගේ නොයිදුල් බව වීදුරුවක් මෙනි. එක් වරක් බිඳුණ හොත් එහි පළුදු වූ ලකුණු කිසිදා යථා තත්වයට පත්කළ නොහැක. ඒ නිසාම විවාහයට ප්‍රථම කාන්තාවක් තම චරිතය පණ මෙන් ආරක්ෂා කරයි. විවාහයට පෙර ජීවිතය නිවැරදිව ගත කළ කාන්තාවක් පරපුරටම ගෞරවයකි.  “සිය ලේ කඳුළු දහදිය හෙලා” යන්නෙන් රචකයා උත්සාහ ගන්නේ නිවැරදිව ජීවිතය ගත කළ ගැහැණියකට නොබිදිය හැකි වටිනාකමක් ලබා දී මනාලයාට ඇය ගැන ආඩම්බරයක් ඇති කිරීමටය. දියණිය පති කුලයට රැගෙන යන්නේ ඒ නොබිදිය හැකි අභිමානයයි.

. . .විජිතා ජයතුංග. . .

No comments:

Post a Comment