පන්හිඳට පිවිසෙන්නන්

Monday, July 3, 2017

ගීතයක අරුත සොයා ...


දෙදෙනාගේම දුක තල් අත්තක ලියමු...



පවුලේ අදබර බත් හැළිය ඉදෙන තුරුය. අපේ ගැමියන් කීවේ එලෙසය. ඒ ලාංකික සමාජ සංස්කෘතියේ අතීත දායාදයකි. කුඩා බහින් බස් වීමක් දික්කසාදය තෙක් දික් ගැසෙන්නේ බටහිර සමාජයේය. පිරිමියා කෙසේ වුවත් පෙරදිග ගැහැණිය තම පවුල් ඒකකය රැක ගැනීමට මහත් වීරියක් දරන්නිය. යශෝදරවත වැනි ජන කාව්‍යයක් තුළින් වුවද පෙරදිග ගැහැණියගේ ඉවසීම හා පරිත්‍යාගශීලී ගුණය මනාව අත්විඳිය හැකිය.

“කැලේ තිබෙන කොයි දේවත් රස   වේවා
මලේ බඹරු ලෙස පිරිවර ඇති         වේවා
අව්වේ තිබෙන රැස් මාලා අඩු         වේවා  
ගව්වෙන් ගව්ව දිව මාලිග          සෑදේවා”

පෙරදිග පවුල් ඒකක පහසුවෙන් බිඳී නොයාමට තවත් එක් හේතුවක් වන්නේ පැරණි සමාජයේ උපයන්නා පුරුෂයා වීමයි. ගැහැණිය යපෙන්නියක වීම නිසා ඇයට ඉවසීම ප්‍රගුණ කරන්නට සිදු වෙයි. අනෙක් සාධකය වන්නේ දරු සෙනෙහසයි. බටහිර සමාජයට වඩා සංවේදී වූ මාපිය දූ දරු සබඳතාවන් පෙරදිග සමාජයේ පවතී. ඒ නිසා වැඩිහිටියන් අතර ගැටළු පැන නැගුණද දූ දරුවන් නිසා ඔවුහු ඉවසති. මේ සියලු පසුබිම් ප්‍රතිනිර්මාණය වන සංවේදී ගීතයක් ලෙසින් මේ ගීතය නම් කළ හැකිය.

“මා එක්කලා අමනාපව වී දබර
දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර”

  මේ ගැහැණිය තම ස්වාමියා අමතනුයේ “දුගේ තාත්තා” යනුවෙනි. එහිම මේ පවුල් ඒකකයේ බැඳීම ගොඩ නැගී ඇති ආකාරය හඳුනාගත හැකිය. කුමන වරදක් කළද ඔහු ළමයින්ගේ පියාය. එයම  සමාව දිය හැකි කරුණකි. මේ ගැහැණියගේ කෝපය තුනී වී ළය නිවී සැනසෙන්නේ හදවතින් මතු වී එන මේ පිතෘ මූලික හැඟීම හේතුවෙනි.



ගීය තුළ ගැබ්වන අරගලයේ ප්‍රතිඵලය සැමියා අමනාප වී නිවසින් පිට වීමයි. ඇය යටි සිතින් බලාපොරොත්තු වන්නේ ඔහු කුමන මොහොතක හෝ ආපසු පැමිණේවි යන්නයි. ඒ සඳහා ඇය පූර්ව සූදානමකින් සිටින්නීය.   ඔහුගේ සිත සැනසෙන ආකාරයට ඇය නිවසේ අවට පරිසරය සකසන්නිය.    

“වැලි පොල් කටුයි හැඳි රෑනයි පෙරලාලා
මිදුලේ වැටුණු කොළ සේරම අතුගාලා
ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා
රෑ එළි වෙන තුරා ඉමු මිදුලට වීලා”

ගීත රචකයා සංවේදියෙකු වූ තරමට ඒ ගීතයේ සංකේතාර්ථ බහුල වේ.  “ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා” යන යෙදුම අපුර්ව කාව්‍යොක්තියකි. එහි මතුපිට චිත්ත රූපයක් අන්තර්ගත අන්තර්ගත වි පවතී. සැමියා එනතුරු කඩුල්ලට බර වී බලා සිටින බිරියකගේ හා දිරියකගේ චිත්‍රයක් එයින් මතු වේ. සැමියා නොමැති නිවස ආර්ථික ප්‍රශ්නවලින්ද පිරී පවතී. ඇයට තනිවම මේ බැරි බර දැරීමට නොහැකිය. ඇය සැමියා එන තුරු මඟ බලා සිටීමට මේ සියල්ල හේතු සාධක බවට පත් වේ.

මෙම ගීතය වඩාත් හැඟීම්බර වන්නේ අවසාන අදියර තුළිනි. දැන් දිවා කාලය ගෙවී ගොසිනි. සන්ධ්‍යාව එළඹී තිබේ. මව සහ දියණිය නැවතත් කඩුල්ල ලඟට වී මග බලා සිටිති.ඔවුන්ගේ දෑස් කඳුළින් තෙත් වී තිබේ. තවත් නම් ඉවසනු නොහැකිය. සිටින තැනකට පණිවිඩයක් යවා සැමියා ගෙන්වා ගැනීමට දැන් කාලය එළඹ තිබේ.

“හඳ මාමා නැගෙන තුරු අපි තරු ගනිමූ
දෙදෙනාගේම දුක තල් අත්තක ලියමූ”




තව මොහොතකින් හඳ පායනු ඇත. දියණිය පියා ගැන මවගෙන් විමසා සිටින්නීය. ඇයද සැනසිය යුතුය. මේ මොහොතේ මව දියණියගේ සුරංගනා සිහිනවලට අමතයි. දෙදෙනාගේම දුක තල අත්තක ලියූ විට හඳ මාමා ඒ පණිවිඩය දූගේ තාත්තාට රැගෙන යනු ඇත. එය කෙතරම් අපුරු කාව්‍ය සංකල්පනාවක්ද.

“හඳ මාමා අතම ඒ පණිවුඩ යවමු
හෙටවත් ගෙදර ඒ දැයි බලමින් හිදිමු”

තවමත් ඉටු නොවූ මේ අහිංසක ප්‍රාර්ථනාව ඇතැම්විට හෙට දවසේ ඉටුවනු ඇත.




No comments:

Post a Comment