පන්හිඳට පිවිසෙන්නන්

Wednesday, May 24, 2017

මැටි කර්මාන්තයේ ඉතිහාසය


                                   මැටි කර්මාන්තයේ ඉතිහාසය





සභ්‍යත්වය කරා පා නගමින් දුරාතීතයේ එක් යුගයෙක විසූ මිනිසා ගින්නෙහි පුළුස්සා ගත් මස් අනුභව කරමින් විසූ බව ඉතිහාසය කියයි. මිනිසා විසින් ආහාර පිස ගැනීම සඳහා මැටි භාජන තනන ලද්දේ ධාන්‍ය  වර්ග ආහාර කොට ගැනීමට පුරුදු වීමෙන් පසුව යැයි සිතිය හැකිය. මුලදී මැටි භාජන තනන ලද්දේ මැටි පිඩක් ගෙන අතින් හැඩ ගසා අව්වේ වියලා ගැනීමෙනි. පසු කලෙක මෙම භාජන පුළුස්සා ගන්නා ලදී.

කුඹල් සක (සක පෝරුව ) නිපදවීම මනුෂ්‍ය සභ්‍යත්වය පිළිබඳ විශාල ජයග්‍රහණයකි. මෙය නිපදවන ලද්දේ ක්‍රිස්තු පුර්ව තිස්වෙනි ශත වර්ෂයේදී පමණ ඊජිප්තු දේශවාසීන් විසිනි. සක පෝරුව දෙවියන්ගේ තෑග්ගක් වශයෙන් සලකන ලදී. මෙය පළමුවෙන්ම භාවිතයට ගන්නා ලද්දේ පුරාණ ඊජිප්තුවේ අග නුවර වූ මැම්ෆිස් නගරයෙහිය. ශිල්පීන්ට අධිපති දේවතාවා වූ “ටා මේ නගරයේ ආරක්ෂක දෙවියන් වීමද සක පෝරුව 
දෙවියන්ගේ තෑග්ගක් වශයෙන් සැලකීමට හේතුවක් වූ බව පෙනේ.

සජීවී සෑම සත්වයෙකුම ස්වකිය ඉදිරි ගමන සකස් කරනුයේ නිරතුරුවම ආහාර හා සනීපාරක්ෂාව මුලික කරගෙන වීම සත්‍යයකි. මුලික පරිණාම අවධියේ ගසක කොළයක්, මලක්, ගෙඩියක් අමුවෙන් කෑ මිනිසා අලයක් පොළවෙන් හාරාගෙන අමුවෙන්ම භුක්ති වින්දේය. සතෙකු මරාගත් හේ අමුවෙන්ම ස්වකිය භෝජනය කර ගත්තේය. එහෙත් කල් යාමේදී ඒවා පුළුස්සා අනුභව කිරීමට පුරුදු වූයේ දිවට දැනෙන රසය පදනම් කරගෙන විනා එහි ගුණාගුණ තේරුම් බේරුම් කරගෙන නොවේ. දිවට දැනෙන රසයේ ආශ්වාදයේ විවිධත්වයක් ඇති බව තේරුම් යාමත් සමගම ජලයේ බහා අලයක් තම්බාගෙන භුක්ති විදීමේ අවශ්‍යතාව ඇති වීම නිසා බඳුන් සොයන්නට විය.

ජනප්‍රවාදයේ එන පරිදි බඳුනක මූලාරම්භය ඇති වූයේ අලියෙකුගේ පාද සටහනක් පදනම් කරගෙනය. මැටි පොළොවක වූ අලියෙකුගේ පා සටහන දුටු ආදි මානවයා එය පොළවෙන් සියුම් ලෙස වෙන් කරවා ගත්තේය. ඊට ජලය පුරවා ඒ තුළට කැලයෙන් ගලවා ගත් අලයක් දමා ගින්න මතුපිට තබා රත් කරන්නට වුයේ භාජනය පිලිබඳ පර්යේෂණාත්මක හැඟීමකින් නොවේ. ඔහුගේ මුලික අරමුණ වූයේ අලය තම්බා භුක්ති විඳීමෙන් අමතර රසයක් ලබා ගැනීමය. එසේ වුවද අලියාගේ පා සටහන සහිත මැටි පිඩ බොහෝ වෙලාවක් ගින්න මතුපිට තිබීම නිසා අමුතු පැහැයක් ගැනීම ඔහුගේ අවධානයට ලක් වූවා නිසැකය. අමු මැටි ගින්නේ පිලිස්සීමෙන් ඇතිවන තද බව නිසා එකී මැටි හැඩය කල් තබාගෙන පාවිච්චි කළ හැකි වීම මානවයාගේ සිත් ගත්තා සේම මැටි භාජනයේ ආරම්භය ද එයම විය. මිනිසා මේ සම්බන්ධයෙන් අත්හදා බැලීම් කරන්නට වූයේ ඉන් අනතුරුවය. විවිධ හැඩ සහ ප්‍රමාණයන් උපයෝගී කරගෙන මැටි බඳුන් නිර්මාණය කිරීමෙහිලා මානවයා විසින් කරන ලද පර්යේෂණ හෙවත් අත්හදා බැලීම් අතිශය විශ්මිතය.




අධ්‍යාපනයක් තබා කතා කිරීමට භාෂාවක් හෝ නොතිබුණු මිනිසා විසින් කරන ලද පර්යේෂණයන්හි ප්‍රතිඵල ලෙසින් වර්තමාන  තාක්ෂණික ජයග්‍රහණය හැඳින්විය හැකිය. වානර ආරම්භයක් සහිත මිනිසා බුද්ධි වර්ධනය කර ගනිමින් ශිලාචාර වූයේ මැටි නිර්මාණයන් පිළිබඳව කරන ලද අත්හදා බැලීම් පදනම් කරගෙන යැයි කීවොත් නිවැරදිය. සෙසු සියලුම කර්මාන්ත ලොව බිහි වූයේ මැටි කර්මාන්තය බිහි වීමෙන් පසුව වීම ඊට හේතු සාධක වනු ඇත. මිනිසාට අලයක් හාරා ගැනීම සඳහා ආයුධයක් අවැසි වුවද ඒ සඳහා උපයෝගී කර ගත්තේ ලී කැබැල්ලකි. සතෙකු දඩයම් කර ගැනීම සඳහා ඔහු යොදා ගත්තේ මුගුරක් හෝ ගලකි. නො එසේ නම් නැවෙන දණ්ඩකින් හා වැල් පොටකින් තනා ගත් දුන්නකි. සරළව ප්‍රකාශ කළහොත් මිනිසා ශිලාචාර වූ දින සිටම මැටි කර්මාන්තය පැවත එන්නේය. ඒ නිසාම ලොව ඉපැරණිම කර්මාන්තය මැටි කර්මාන්තය යැයි පැවසීම අතිශයෝක්ති නොවේ.

අලියෙකුගේ පාද සටහනේ ප්‍රමාණයෙන් ආරම්භ වූ මැටි බඳුන් නිෂ්පාදනය මිනිසා ස්වකීය මොළය හා චින්තන ශක්තිය මෙහෙයවමින් විවිධ හැඩයන් හා ප්‍රමාණයන් කරා යොමු විය. ඒවා වෙනත් කර්මාන්ත ලොව බිහි වීමේදී උපයෝගී විය. මැටි කාර්මිකයාගේ ඉතා සියුම් නිර්මාණයක් වන “මැටි කෝව” රන් භාණ්ඩ නිෂ්පාදනයේදී රත්‍රන් උණු කිරීම සඳහා යොදා ගැනීම එක් උදාහරණයකි. ඒ අනුව බලන කළ රන් කර්මාන්තයද මැටි කර්මාන්තය ආශ්‍රයෙන් නිර්මාණය වූවක් සේ සැළකිය හැකිය.

මෙසේ මැටියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී ජන්මයෙන්ම මිනිසා සතුව පැවති කලා කුසලතාවන්ද ඉස්මතු වෙමින් ඒවාද නිර්මාණයන් තුළ ගැබ් වන්නට වූයේ නිරායාසයෙනි. ශිලාචාර මිනිසෙකු සතුව තිබිය යුතු ශිෂ්ටසම්පන්න හැඟීම් මෙන්ම නිර්මාණ කුසලතාවද මැටි කර්මාන්තය හා සමානුපාතිකව ප්‍රගතියක් ලැබුවේය. කැලෑවේ නිදැල්ලේ වැවුණු අල වර්ග ආදිය ස්වකීය පරිභෝජනය සඳහා භූමියේ වවා ගැනීමට පෙළඹුණු මිනිසා ඒ අභියෝගය ජය ගත්තේය. ඒ ජයග්‍රහණය සර්ව සාර්ථක වූයේ මැටි භාණ්ඩ උපයෝගිත්වයෙනි.

මැටි කර්මාන්තයේ යෙදීමට අමතරව ඔහු භෝග වගාවද කළේය. ඊට අමතරව සෙසු මානව කොට්ඨාසයන් සමග සම්බන්ධතාවන් පවත්වා ගනිමින් භාණ්ඩ හා ද්‍රව්‍ය හුවමාරු කර ගැනීමේ සහජීවන පිළිවෙතක නිරත විය. ඒ අනුව මැටි කාර්මිකයා සමාජයට අත්‍යවශ්‍ය වූවාට සැක නැත. ඔහු දෙරණ තලයේ කොතැනක වාසස්ථානය පිහිටුවා ගත්තද කිසිවෙකුගෙන් ඊට අභියෝග එල්ල නොවූයේ මැටි කාර්මිකයා සෙස්සන්ට සමීපව ජීවත්වීම සම්පතක් සේ සලකූ බැවින්ය. මැටි කාර්මිකයා ඒ වන විට වෙනම සංස්ථාවක් ලෙස සමාජගත විය. ඔහු කුඹල් කාර්මිකයා ලෙස නම් කෙරුණේ බොහෝ පසු කලෙකය. කුම්භය යනු කළයයි. කුම්භය කරවන්නා යන අදහස ඇතිව ඔහු කුම්භකාර නම් විය.

මැටි කර්මාන්තය කෙතරම් ඉපැරණි කර්මාන්තයක් වුවද ඒ සම්බන්ධව සටහනක් තැබීමට කිසිදු ඉතිහාසය ලියන්නෙකු කාරුණික නොවීම කණගාටුව විය යුතු  කරුණකි. එහෙත් ඔහුගේ නිර්මාණ උපයෝගී කරගෙන සමාජීය කාල වකවානු නිර්ණය කිරීමට ඉදිරිපත් වූ ඉතිහාසඥයෝ එකී කර්මාන්තය කළවුන්ගේ අභිමානය යටපත් කර දැමීමට තරම් සාහසික වුහ. ඊට හේතු සාධක වූ කරුණුද බොහෝය.

විජයාවතරණයෙන් පසුව දඹදිවෙන් නොයෙක් වර විවිධ ගෝත්‍රවලට අයත් පිරිස් ලංකාවට පැමිණි බව මහා වංශයේ සඳහන් වේ. ඔවුහු බොහෝවිට මෙහි පැමිණියේ සාමුහික වශයෙනි. කුවේණිය අතහැර දැමූ විජය තම බිසෝ තනතුරට මධුරා පුරා කුමරියක් හා පරිවාර කාන්තාවන් විශාල පිරිසක් ලංකාවට ගෙන්වා ගත්තේය. ඒ සමග අටළොස් කුලවලට අයත් වූ ශිල්පිය සමුහවලින් දහසක් දෙනාද මේ අවස්ථාවට එක් විය. ඒ අටළොස් කුලය පුරාණ පොත පතේ සඳහන්ව ඇත්තේ මෙසේය. සරස්කුල, කුලිගකුල, කපුකුල, බලත්කුල, පෙනෙරකුල, කුඹල් කුල, මල්කරු කුල, ඔසද වටු කුල, සන්නාලි කුල, අරක්කැමි කුල, කඹුරු කුල, බෙරවා කුල, ස්වර්ණකාර කුල, වඩු කුල, සිත්තර කුල, ලෝකුරු කුල, සත්කරු කුල, උයන් ගොවි කුල යනුවෙනි.  

පොළව යට තිබී හමුවන උළු, ගඩොල්, වලං ආදී භාණ්ඩ අතීත සභ්‍යත්වය පිලිබඳ තොරතුරු මනින මිනුම් දණ්ඩක් ලෙස පුරාවිද්‍යාඥයෝ සළකති.






මැටි කර්මාන්තකරුවා ස්වභාව ධර්මයත් සමග ජිවත් වූ අයෙකු විය. ඔහුට අවශ්‍ය වූ සියලුම අමුද්‍රව්‍ය ලබා ගත්තේ මහපොලව ඇසුරෙනි. එහෙයින් ඔහු භූමියට ගරු කළා මෙන්ම ආදරය කළ අයෙකුද විය. ඔහු කෘතවේදී අයෙකි. තම කර්මාන්තයට අමුද්‍රව්‍ය සපයා දෙන මහපොළව වන්දනා කළේය. මහී කාන්තාව නම් දෙවඟනක් පිළිබඳව විශ්වාස තැබූ හෙතෙම එමගින් සමධිය, සශ්‍රිකත්වය ලැබේය යන විශ්වාසය පෙරදැරි කරගෙන මහී කාන්තාව වන්දනා කළේය.  පසු කාලීනව ඔහුට එරෙහිව නැගී සිටි සමාජ බලවේග විසින් ඔහුව පිඩනයට පත්කරමින් ඔහු සමාජයේ පහළ ස්ථරයක අයෙකු ලෙස නම් කරනු ලැබීය. සිංහල රජු දවස කුඹල් කාර්යංශය බඩහැල බද්ද නමින් හඳුන්වන ලදී.



මැටි භාණ්ඩ භාවිතය පිලිබඳ විවිධ අදහස් ඒ ඒ රටවල පැවති බව පෙනේ. චීන රජවරු කුඹලුන්ට සමාන කර ඇත. කුඹලා සක පෝරුව හසුරුවන්නක් මෙන් රජ මිනිසුන් හසුරුවන්නේය යන්න ඔවුන්ගේ හැඟීමයි. චීන සංස්කෘතියේ පතාක යෝධයෙකු වූ “ෂුන්” නම් අධිරාජ්‍යයා විශිෂ්ට මැටි භාණ්ඩ නිපද වූ බව කියා තිබේ.
ජපානයට සක පෝරුව පැමිණෙන විට එහි ආගමික උත්සව සඳහා භාවිත කෙරුණේ අතින් සාදන මැටි භාජනය. ඇති පුරාණන්ජන කතා වශයෙන් සැලකෙන ජාතක කතාවන්හි සක පෝරුව හා කුඹල් ගල ගැන සඳහන් වේ. බෝසතුන් කුඹල් කර්මාන්තයේ යෙදුන බවද ජාතක කතා කිහිපයක සඳහන්ය.

(පී. ඇම්. සේනාරත්නගේ “ ශ්‍රී ලංකාවේ කර්මාන්ත පුරාණය” කෘතිය ඇසුරිණි)

    

5 comments: