පන්හිඳට පිවිසෙන්නන්

Saturday, May 13, 2017

සැබෑ බෞද්ධකම

සිංහල බෞද්ධකම

සම්බුදු තෙමගුල සමරමින් ලොව පුරා බෞද්ධ ජනතාව බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව ආමිස පුජා මෙන්ම ප්‍රතිපත්ති පුජාද පවත්වති. ලංකාවේද නගරයක් නගරයක් පාසා අලංකාර තොරණ්, වෙසක් කලාප, දන්සැල් ඉදි වී ඇත. සැතපුම් ගණන් පෝලිම්වල සිට ජනතාව දන්සැල් වඳිනු ඇත. ධනපතියන් මෙන්ම දුප්පතුන්ද දානපතියන් වී තමන්ට හැකි පමණින් දන්සැල් දෙනු ඇත. ඒ දන්සල්වල පිහිටෙන් දුගී මගී යාචකයන්ද කුසගින්දර නිවාගනු ඇත. වෙස් මුහුණු පැළඳ නළා පිඹිමින් කෑ කෝ ගසන ඔළුබක්කන්ගෙන් මංමාවත් පිරෙනු ඇත.
සතියකින් පමණ වෙසක් තොරණ් ගැළවෙනු ඇත. දන්සැල් නවතිනු ඇත. මිනිස් සිත් සතන් තුළ බුද්ධාලම්භන ප්‍රීතිය කෙමෙන් කෙමෙන් පහව යනු ඇත. දුගී මගී යාචකයන් පෙර පරිදිම සිඟමන් යදිනු ඇත. දරුවන්ට එපා වී මහමඟ දමායන මව්පියවරුන්ගෙන් මහළු නිවාස පිරෙනු ඇත. පෙර සේම අසරණ දෙමව්පියන් බලු කූඩුවේ දමනු ඇත. කිරිකැටි බිළිඳුන් ගංදියට විසි කරනු ඇත. අජාසත් පරපුරේ පුතුන්ද සිටිනු ඇත. හිත් පිත් නැති පාපතරයන් විසින්  දහස් ගණන් කුඩා දැරියන් දූෂණය කරනු ඇත. ඒ කෙසේ වෙතත් උදේ හවස සෙත් පිරිත් , බණ ඇසෙනු ඇත.
ලෝකෙන් උතුම් රට ලංකාව යන්න බෝඩ් ලෑල්ලකට පමණක් සීමා වී ඇතැයි කිවොත් . . . . එය ඔබ කෙසේ නම් පිළිගනීද ? මේ වනවිට මිනිස් සමාජය ගුණධර්මවලින් පිරිහී අධර්ම ක්‍රියාවන්ගෙන් පෝෂණය වී තිබේ. උදේ හවස බණ ඇසෙන මුත් එකී බණ පද ක්‍රියාවට නැගීමට බෞද්ධයාට නොහැකි වී තිබේ. අප සැවොම තම තමන්ගේ ලෝකවල කාර්ය බහුල වී සිටින්නෙමු. එකී ලෝකය තුළ අන් අය වෙනුවෙන් හෝ තම අධ්‍යාත්මික සුවය වෙනුවෙන් හෝ පුංචි ඉඩක්වත්  නැත. “සිංහල බෞද්ධකම” උප්පැන්න සහතිකයේ අකුරු පේළියකට පමණක් සිමා වී ඇති යුගයක වෙසක් සැමරීමද සැබෑ අර්ථයකින් තොරව සිදුකරයි.
මනසින් උසස් මිනිසුන් වන අපට අනෙකුත් සත්ත්වයන්ට වඩා සිතන්නට හැකි  ශක්තියක්  ලැබී ඇත. එහෙත් ඒ සිතීමේ ශක්තිය කෙතරම් දුරට ප්‍රයෝජනයට ගන්නේදැයි මොහොතක් සිතා බැලිය යුතුය. බුදුන් වහන්සේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අවබෝධ කොටගත් අවස්ථාවේ පටන් මේ මොහොත දක්වාම එය නොනැසී ලෝකයේ පවතී. එහෙත් පන්සිල් රකින එකදු බෞද්ධයෙක් හෝ සිටටීදැයි සැකයක් මතු වේ. අද රටේ සිදුවන බොහොමයක්  අපරාධ පසුපස සිටින්නේ සිංහල බෞද්ධයන්ය. ඒ තරමට බෞද්ධකම පිරිහී තිබේ. අප රටේ තරම් බණ කියන, බණ අසන රටක් ලොව නැති තරම්ය. එහෙත් ගත වූ කාලය ආපස්සට හැරී බැලුවහොත් අප රටේ කෙතරම් අධර්ම ක්‍රියා සිදු වී ඇත්ද? උදේ හවස බණ ඇහෙන මුත් එම බණපද එක් කනකින් අසා අනෙක් කනින්  ඉවතලන උතුම් සිංහල බෞද්ධ ජාතියකට අප උරුමකම් කියන්නෙමු.


මෙම තත්වය දිගටම පැවතුනහොත් අනාගතය පිළිබඳ ඇත්තේ රතු එළියකි. වර්තමාන සමාජයේ පිරිහීමේ ආරම්භය අනාගතයේදී කෙසේ නම් කෙළවර වේ දැයි හිතාගත නොහැක. ප්‍රමාදය පසුතැවීමට හේතු විය හැකිය. එබැවින් ගුණ දහම් පෝෂණය කරමින් සැබෑ බෞද්ධ ජාතියක් ලෙස නැගී සිටීමට කාලය එළඹ ඇත. කුඩා තැනින් පටන් ගන්නේ නම් එය ඉතාම පහසුවන බව විශ්වාසය. එබැවින් තමන් තුළින් ආරම්භ කර පවුල, ගම, ප්‍රදේශය, රට පමණක් නොව මුළු ලෝකයම වුවත් වෙනස් කළ හැකිය.

1 comment:

  1. ඇත්ත....බෙ!ද්ධකම උප්පැන්නයට විතරයි සීමා වෙලා තියෙන්නේ

    ReplyDelete