පන්හිඳට පිවිසෙන්නන්

Sunday, May 7, 2017

                  ජීවත් වන කාලයට අකැප මරණින් පසු කැප “නම්බුව”

සමාජය තුළ නම්බුකාර අයෙකු ලෙසින් ජීවත් විමට බොහෝ දෙනෙක් කැමතිය. ඒ වෙනුවෙන් ඇතමුන් සමාජ සේවා සත්කාර ආදී නොයෙකුත් ක්‍රියාවන්හි නිරත වෙති. ඇතමුන් නම්බුව බල්ලට දමා තමන්ට කැමති දෙවල් කරති. ජීවත්ව සිටින විට ඇතැම්  පුද්ගලයන් කරන දේවල්  සමාජය කෙතරම් පිළිකුල් කළද  ඔවුන් මිය ගිය පසු ඒවා මහත් ඉහළින් වර්ණනා කරති. ඒ කෙසේ  වෙතත්  අප රටට විශාල මෙහෙවරක් කළ බොහෝ  දෙනෙක්ට සමාජයේ  ගෞරව බහුමාන හිමි වී ඇත්තේ  ඔවුන් මිය ගියාට පසුව වීම කණගාටුවට කරුණකි. කෙතරම් තිත්ත වුවද ඇත්ත එයයි.

අප රටටත් ජාතියටත් ආගමටත් විශාල මෙහෙවරක් කළ අනගාරික ධර්මපාල තුමා පිළිබද කතා නොකරම බැරිය. එතුමා සිංහල ජාතියත් බුද්ධාගමත් වෙනුවෙන් සිය මුළු දිවියම කැප කළා පමණක් නොව  දිවි හිමියෙන් සටන් කොට සිංහලයාට මේ රට රැක දුන්නේය. ඒ පිළිබද අටුවා ටීකා අවශ්‍ය නොවේ. මන්ද එය නොදන්නෙකු සැබෑ සිංහලයෙක්ද නොවන්නේය.ඒ කෙසේ  වෙතත් අනගාරික ධර්මපාල තුමාගේ දිවි ගමනේ සැදෑ සමය උදා වූයේ එතුමන්ට සිංහල ජාතියම එපා කරවමිනි. ඒ තරමට සිංහලයා කළගුණ දන්නා ජාතියක් විය. අප කව්රුත් මිය ගිය පසුව නැවතත් මෙම පුණ්‍ය භුමියේ ඉපදීමට කැමතිය. එහෙත් අනගාරික ධර්මපාල තුමාගේ අවසන් ප්‍රාර්ථනය එය නොවිය. සිය දිවි ගමනේ අවසන් සාමය වනවිට බෞද්ධ භිකෂුවක් වූ එතුමන් ප්‍රාර්ථනා කළේ මතු හැම භවයකම දඹදිව ඉපදේවා කියාය. එතුමන් ජීවමාන සමයේ නොදුන් ගෞරවය මරණින් පසුව ලබා දීමෙන් පලක් නැත. එය එසේ වුවා නම් එතුමන්ට අප රටත් ජාතියත් එපා නොවනු ඇත.

අප රටට විශාල මෙහෙවරක් කළ තවත් එක් උදාර මිනිසෙකු ලෙස සී ඩබ් ඩබ් කංනන්ගර මහතා හදුන්වා දිය හැකිය. 1947 නිදහස් අධ්‍යාපන පනත හදුන්වා දුන් එතුමා විරුද්ධවාදීන් සමග මහා සටනක්  කොට එම පනත ජයග්‍රහණය කළේය. එපමණක් නොව අසරණ සරණ ආඥා පනත මගින් සියලුම ජාතීන්ට අයත් දුප්පත් දරුවන්ට පිළිසරණ වූ අතර පොදුවේ සැම පාසල දරුවෙකුටම නොමිලේ දිවා ආහාරය ලබා දිමටද කටයුතු කළේය. එතුලින් දිළිදු ජන කොටස්වල මන්ද පෝෂණය පිටු දැකිමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගත්තේය. මේ සියල්ලට ප්‍රති  උපකාර වශයෙන්  එතුමාට සිය මන්ත්‍රී ආසනය අහිමි කිරිමට තරම් ලාංකික ජනතාව කළගුණ දත් පිරිසක් විය. තම දේශපාලනයෙන් හෝ නිතිඥ වෘතියෙන් හරි හම්බ නොකළ එතුමා සිය ජිවිතයේ අවසාන භාගය ගත කළේ  කණකොකා හැඩූ අයෙකු ලෙසින්ය. එතුමාට පරිත්‍යාගශිලීන්ගේ පරිත්‍යාග මත හා විශ්‍රාම වැටුප මත පමණක් යැපෙන්නට සිදුවිය. වර්තමානයේ අප එතුමා හදුන්වන්නේ නිදහස් අධ්‍යාපනයේ පියා යන විරුදාවලිය යටතේය. එහෙත් එතුමන් ජීවත්ව සිටි සමයේ එතරම් ගෞරව කරන්නට ලාංකිකයන්ට නොහැකි වූයේ මන්ද . . .

යම් පුද්ගලයෙකුට ගෞරවයක් ලබාදිය යුත්තේ ඔහු ජීවත්ව සිටින සමයේ විනා මරණයෙන් පසුව නොවේ. තමන් කළ කාර්යයට පිරිසක් මැද ගෞරව ලබන්නට කව්රුත් කැමතිය. එහෙත් සත්‍යගරුක මිනිසා ගෞරව බහුමාන ගැන තැකීමක් නොකර සමාජයට තමාගෙන් ඉටුවිය යුතු යුතුකම් නොපිරිහෙලා ඉෂ්ට කරයි. එවැනි පුද්ගලයන් හට ලබා දිය යුතු ගරු සත්කාර පැකිලීමකින් තොරව ලබා දීම  අප සැමගේද  යුතුකමක් කොට සිතිය යුතුය.  


                                   

No comments:

Post a Comment