සිංහබා පුතුනි
බිඳින් ලෙන් දොරේ බලේ
බඹර රාව නැංවෙනා
අඳුරු ලෙන තුළේ
මල් පිපී රොනින්
පිරේ සුරත් කුසුම් කුලේ
තටු කඩා දැමූ බිඟුන්
එයි පෙළින් පෙළේ
සිංහබා පුතුනි
බිඳින් ලෙන් දොරේ බලේ
කැලේ බිහි දොරින්
ඇසේ ලහිරු කැන් සිනා
දෙමංසලට මං කියාවි
පහන් තාරුකා
වන හිසින් ගලා හැලේ
කුරුළු ගීතිකා
ඒ උදාන ගීතයයි නව
ලොවක් පතා
වටු රැලක් ලෙසින්
හඹා මිදී එන දිනේ
ගෙවිලියනි මිහිරි
සරින් නගව් පා සෙනේ
යදම් බිඳී සුරත්
සැලේ සුනිල් නිලම්බරේ
ලපලු සේ සැලෙන්නෙපා
පුතුන් එන දිනේ
ගායනය :- ප්‍රදීපා ධර්මදාස
සංගීතය :- රෝහණ වීරසිංහ
පද රචනය :- විජිත් කළුගල
සමාජයක් තුළ සිදුවන
බොහෝ විරෝධී ක්‍රියාවන්ට විරෝධය පළ කිරිමට නොයෙකුත් ක්‍රම තිබේ. වැඩ වර්ජන,
උද්ඝෝෂණ, සත්‍යග්‍රහ ඒ අතරින් කිහිපයකි. මේ සැම දෙයක් තුළින්ම මිනිසා තුළ තිබෙන
විරෝධය ප්‍රකාශ වන අතර එය සාමුහිකත්වයේ නිමැවුමකි. ඉහත කී ක්‍රමවලට අමතරව පෑන
අවියක් කොට ගනිමින් ගීතය, කවිය, ලිපිය මගින් සමාජ විරෝධයට එරෙහිව පහර ගැසීමට දක්ෂ
නිර්මාණකරුවන්ට හැකි විය. තම සිතැඟි නැගී පීඩාව පද වැලකට ගලපා සංගීතය හා මුසුකොට
ගුවනට මුදා හැරීමට ඔවුන් උත්සුක වූයේ එබැවිනි. නිහඬව තිබු ගිනි කන්දක් පුපුරා
හරියාක් මෙන් මෙම ගීත මඟින් සමාජ කතිකාවන් බොහෝමයකට දොර කවුළු විවර කළ නිසාම
බොහොමයක් ගීත වාරණයට පවා ලක්විය. සංස්කෘතිය නමැති කඩතුරාවෙන් වසාගෙන සිටින කිළි කුණු
පිරි සමාජය සහ එය පාලනය කරන අත්තනෝමතික පාලකයන්ගේ නොමනා ක්‍රියාවන් පිලිබඳ ව්‍යංගයෙන්
ප්‍රකාශ කළේ මෙවැනි සාහිත්‍ය නිර්මාණ
තුළිනි.
"පාට හොඳයි පැළවෙන ගොයමේ
නිල්ල
ඊට උඩින් ගැසුවා
වැනි මඩ ගොල්ල
යාල දෙගොඩ හඬනා මැඩියන්
ගොල්ල
දෙවියනි බුදුනි
පාළුයි තංගලු මුල්ල"
මෙම කවිය තුළින්ද
ඉදිරිපත් කර ඇත්තේ තරුණයන් මර්දනය කළ ආකාරයක් ගැනය. පැළවෙන ගොයමකට තරුණ ජිවිත සමාන
කර ඇත්තේ අනාගතයේ ඒ ගොයම මුළු රටම සශ්‍රික කරන්නා සේ මෙම තරුණයන්ද රටට සවියක්වන
නිසාවෙනි. ගොවියා පැළ ගොයම රකින්නේ දරුවන් රකින පියෙකු හා සමානවය. නමුත් මෙම පැළවෙන
ගොයම උඩට මඩ පහරක් වැදීමෙන් විනාශ වී ඇත. එය කව්රුන් හෝ විසින් හිතාමතාම සිදුකළ
දෙයකි. ඒ අයුරින් තංගල්ල ප්‍රදේශයේ තරුණ ජිවිත දහස් ගණනක් විනාශ කළ පුවතක් මෙලෙස
කවියට නගා ඇත. පාලකයන් සිදුකළ මෙම නොමනා ක්‍රියාව පිලිබඳ පැමිණිලි කිරීමට සිටින්නේ
දෙවියන් බුදුන් හැර වෙන කව්රුන්ද. . .?
රටක් සංවර්ධනය කරා
යන ගමනේදී එරට ශ්‍රම බලකාය වැදගත්ම සාධකයක් වේ. එනම් වැඩ කළ හැකි වයසේ ජනකායයි. එකී ශ්‍රම බලකාය
ශක්තිමත් කිරීමේදී තරුණ පරපුරේ දායකත්වය සුළුකොට තැකිය නොහැකිය. ලාංකීය තරුණ පරපුර
පිලිබඳ අතීතයේ සිටම තිබෙන්නේ එතරම් සුබවාදී ආකල්පයක් නොවේ. ලෝකයේ තරුණ සියදිවි නසා
ගැනීම් අතරින් ශ්‍රී ලංකාව පස්වැනි ස්ථානය ලබා ගැනීමෙන්ම එහි දරුණු බව කෙතරම්දැයි
වටහාහත හැකි වේ. රට කරවන පාලකයන් තරුණ ජිවිත සරළව ගෙන නොසලකා හැරියද මේ රටේ කැකැරළි
දෙකක ආරම්භයට එකී පාලනයේ අත්තනෝමතික බව ඍජුවම බලපෑ බව කිව යුතුය.
71 කැරැල්ල සහ 88-89
කැරැල්ල අහසින් කඩා පාත් වූයේ නැත. පොළව
යට ගිනියම්වන ලාවා තට්ටු පුපුරා යාමට ගත වන්නේ නිමේශයකටත් වඩා අඩු කාලයකි. එහෙත්
එයින් සිදුවන විනාශය විශාල ප්‍රදේශයක් පුරා පැතිරී පවතින්නේ එහි නෂ්ටාවශේෂ
සදාකාලිකවම සමාජයේ ඉතිරි කරමිනි. 71 සහ 88-89 පුපුරා ගිය තරුණ අසහනයන්ද මෙරට සමාජ හර
පද්ධතීන් අළු දුවිලි කළ බවට අදටත් චෝදනා පවතී. එහිදී මියගිය සහ මරා දැමූ තරුණ
ජීවිත මෙරට එළිය කරන්නට සිටියවුන්ය. පාලක පන්තියේ සිටි අත්තනෝමතික පාලකයන් මර්ධන
නීති සහ තුවක්කු කටවල බලයෙන් ඒ තරුණ ජවය පස් යට වසා දැමුවද එයින් රටට සිදුවන හානිය
එලෙස යටකර දමා සඟවන්නට නොහැකි විය. එසේ මිහිදන් වුයේ රටේ ශ්‍රම බලකායට පණ පොවන්නට
සිටියවුන්ය.
විජිත් කළුගල නම්
සොඳුරු මිනිසා අතින් ලියවුණු එවැනි සුන්දර පද වැලකට රෝහණ විරසිංහයන්ගේ සත්සර
මුසුවත්, ප්‍රදීපා ධර්මදාස මහත්මියගේ සොඳුරු හඬත් මුසුවෙමින් ඉතා අපුර්ව ගීතයක්
නිර්මාණය විය. මෙම ගීතයට ප්‍රවිෂ්ට වීමට ප්‍රථම එය බිහිවීමට බලපෑ සමාජ පසුබිම
පිලිබඳ කෙටි විස්තරයක් දැක්වීම උචිත යයි සිතේ. 1988-89 කාල පරිච්ඡේදය ලාංකික අපට
අමතක කළ නොහැකි කාල වකවානුවකි. එකල පැවති
අත්තනෝමතික පාලනයට එරෙහිව නැගී සිටි තරුණයන් ඉතා අමානුෂික ලෙස මර්දනය කිරීමට
පාලනාධිකාරය ක්‍රියා කළහ. එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ආණ්ඩුව විසින් තරුණයන්
විශාල පිරිසක් මරා දැමූ අතර මුළු රටම එකම විලාපයකින් දෝංකාර දෙමින් තිබූ අඳුරු කාල
පරිච්ඡේදයක් විය. මෙකි පරිසරය තුළ අභීත
මවකගේ මුවින් නැගෙන සමාජ ආමන්ත්‍රණයක් ලෙසින් රචකයා ගීතය නිර්මාණය කරයි. රටේ
මර්දනයට එරෙහිව තුන්වෙනි බලවේගයක් ලෙසින් තරුණයන්ට නැගී සිටීමට කාලය උදා වී ඇතිබව
මෙම ගීතයෙන් කියවේ.
“බඹර රාව නැංවෙනා
අඳුරු ලෙන තුළේ
මල් පිපී රොනින්
පිරේ සුරත් කුසුම් කුලේ
තටු කඩා දැමූ බිඟුන්
එයි පෙළින් පෙළේ
සිංහබා පුතුනි
බිඳින් ලෙන් දොරේ බලේ”
මුළු මහත් සමාජයම
අඳුරු ලෙනකට සමාන කරන රචකයා ඒ තුළ සිටින බිඟුන් තටු කඩා දැමුවන් ලෙස හඳුන්වන්නේ
මෙකී මර්දනයේ දරුණු ස්වභාවයයි. කැරළිකරුවන් මුළු රටම සිය අනසකට යටත් කරගෙන සිටි
නිසාවෙන් ඔවුන් මර්දනය කිරීමට පාලනාධිකාරය ක්‍රියා කළහ හමුදා කඳවුරු හා පොලිස්
ස්ථානවල ඉඩකඩ මදි වූ හෙයින් මුළු රට පුරාම අලුත් හමුදා කඳවුරු සහ වදකාගාර ඉදි විය.
ඒ අනුව ක්‍රියාත්මක වූ ඝාතකයෝ ගම්බිම් පීරා ඉවක් බවක් නැතිව තරුණ තරුණියන්
අත්අඩංගුවට ගත්හ. ජිවිත ඉල්ලා යදින තරුණ තරුණයන්ගේ වැළපිම්ද, සාප කිරීම්ද, ගහලයන්ගේ
ගෝරනාඩුද නිරන්තරයෙන්ම වදකාගාර තුළින් නැගෙන්නට විය. පාලකයන්ගේ මර්දනය තව දුරටත්
ඉවසා සිටීමට සමාජයට ශක්තියක් නැත. එබැවින් අභීත මවක් ඈගේ ආමන්ත්‍රණය සිංහබා
පුතුන් අරමුණු කරගෙන සිදු කරයි. ගල්ලෙන බිඳගෙන තම නිදහස සොයා ගිය සිංහබාහු මෙන්
සමාජයේ නිදහස සොයා ගමන අරඹන ලෙස මව ආයාචනා කරයි. මෙහිදී සිංහබා පරපුරෙන් පැවත එන
සිංහල පුතුන්ට කරන ආමන්ත්‍රණය අති ප්‍රබලය. අතීත ප්‍රෞඩත්වයෙන් යුත් අභීත ජාතියක් ලෙසින්
මෙම සමාජ මර්දනයට එරෙහි වීම ජාතියේ අවශ්‍යතාවයක් කොට දැක්වීමට රචකයා උත්සාහ ගෙන ඇත.
“කැලේ බිහි දොරින්
ඇසේ ලහිරු කැන් සිනා
දෙමංසලට මං කියාවි
පහන් තාරුකා
වන හිසින් ගලා හැලේ
කුරුළු ගීතිකා
ඒ උදාන ගීතයයි නව
ලොවක් පතා”
මේ වනවිට රටේ සාමාන්‍ය
ජන ජීවිතය මුළුමනින්ම අඩාල වී තිබුණි. පාසල් සහ විශ්වවිද්‍යාල වසා දමා තිබූ අතර
ඒවා වදකාගාර හා සිර කඳවුරු බවට පත්කර තිබුණි. හන්දියක් හන්දියක් ගානේ ටයර් සෑ දැවුණි.
ඒවා සමහරක් “දොළොස්මහේ පහන්” ලෙස නම් කෙරිණි. හිස සුන් තරුණ මළ සිරුරක් පාවී නොගිය
ගඟක් නොවූ තරම්ය. වධකාගාර හා හමුදා කඳවුරු අසළ අතුරුදහන් වූ දරුවන් සොයා යන
දෙමව්පියන්ගේ පෝලිම් තවත් දිග්ගැස්සිණි. කෙතරම් කන්නලව් කළද සිය දරුවන් ඔවුනට
නොලැබිණි. සාප කිරිම්වලද අදෝනාවලද නිමක් නොවිය. කිසා ගෝතමියක් නැති ගෙයකින් අබැටක්
සොයා ගැනීම අපහසු විය. එය එසේ වන විටත් මෙම මව සැඟවී සිටින තරුණයන්ට තවත් බලවේගයක්
ලෙසින් නැගී සිටින ලෙස ආයාචනා කරයි. මෙම තරුණ බලවේගයට ආශීර්වාද කරන සමාජ වටපිටාව
පිලිබඳ රචකයා මවන්නේ ඉතා අපුර්ව සිත්තමකි. ඔවුනට සමාජය විසින් ලබාදෙනු දෙනු ලබන
ආශීර්වාදය ලහිරු කැන් සිනාවකට උපමා කරයි. එය එතරම්ම නිර්ව්‍යාජ වූවකි. යුගයේ අවශ්‍යතාවක්
වෙනුවෙන් ඉදිරිපත්වන මෙම සිංහබා පුතුන්ට මග කියාදෙන්නේ පහන් තාරකාවන්ය. සෑම බෝසත්
උතුමෙක්ම බුදුවන පින්බර උදෑසන ඇසෙන කුරුළු ගීතිකා මොවුන්ගේ ප්‍රයත්නයට උදාන
ගීතිකාවක් සේ ආශීර්වාද එක් කරයි. මුළුමහත් සමාජයක් නව යුගයක බලාපොරොත්තුවේ සෙවණැලි
දරාගෙන අභීත පුතුන් වෙනුවෙන් උදාන ගී ගයන බව මව පවසයි.
“වටු රැලක් ලෙසින්
හඹා මිදී එන දිනේ
ගෙවිලියනි මිහිරි
සරින් නගව් පා සෙනේ
යදම් බිඳී සුරත්
සැලේ සුනිල් නිලම්බරේ
ලපලු සේ සැලෙන්නෙපා
පුතුන් එන දිනේ ”
පන්සීය පනස් ජාතක
පොත් වහන්සේ සමගියේ අගය පිලිබඳ උගන්වන වට්ටක ජාතකය සිහියට නංවමින් රචකයා අවසන් පද
පෙළ පත් ඉරුගත කරයි. සමාජයේ තිබෙන අසාධාරණයට විරුද්ධවන තරුණ බලවේගය වටු රැළක් මෙන්
එකමුතුව එන දිනයට ගෙවිළියන්ට මිහිරි සරින් ගීත ගයන ලෙස ඇය ආරාධනා කරයි. මුළුමහත්
සමාජයක් වෙනුවෙන් අරගලයක යෙදෙන්නට යන පුතුන්ට දුක්
ගීයකින් සමුදීම නොවටී.
එබැවින් මිහිරි සරින් ඔවුන්ට ආශීර්වාද කළ යුතුය. යදම් බිඳ දමා නිදහස සොයා පියඹා යාමට
සැරසෙන ඔවුන් පිළිගන්නට නිල්වන් අහස ගැබ දෑත දිගුකර බලා සිටි. එලෙස නවමු ලොවක අරුණැල්ල
සොයා පියඹා යන පුතුන්ට සැලෙන හදින් තොරව ආශීර්වාද කිරීම ජාතියේම මව්වරුන්ගේ
යුතුකමකි. මේ තුලින් සමාජයට නිහඬ සේවයක් ඉටු කිරීමටත් පාලක පන්තියේ අත්තනෝමතික
පාලනයට එරෙහිව නැගී සිටින ලෙස සමාජය ආමන්ත්‍රණය කිරීමට විජිත් කළුගල නම් සොඳුරු මිනිසා
ගත් උත්සාහය ඉතාමත් සාර්ථක වී ඇති බව අවිවාදයෙන් යුතුව පිළිගත හැකිය.