අරිට්ඨ පබ්බත
ලංකාවේ ඇති සොබා සෞන්දර්ය රස විදීමේදී අපට හමුවන සුන්දර
ස්ථාන අතර රිටිගලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. එහි ඇති සුන්දර බව මෙන්ම පෞරාණික
බවද එයට බලපා ඇත. අතීත රජවරුන්ගේ ශ්‍රී විභූතිය සොයා යන ගමනේදී රිටිගල නටඹුන් අපට
අමතක කළ නොහැක. එමෙන්ම ජෛව විවිධත්වය අතින් ගත් කල රිටිගල කඳු පද්ධතියෙහි ලංකාවේ සෑම පළාතකම තිබෙන
උණුසුම්, වියළි, ශිත යන දේශගුණික තත්ත්වයන් තිබීමද විශේෂත්වයකි. එය සුන්දර වන
ලැහැබකින් මෙන්ම අතීතයේ සැඟවුණු මතකයන් රැසක් සඟවාගෙන සිටින කෞතුකාගාරයකි. එබැවින්
රිටිගල සුන්දරත්වය පිලිබඳ ගවේෂණාත්මක කෝණයකින් බැලීම ඉතා අගනේය. රිටිගල කඳු වැටිය
ආශ්‍රිතව ප්‍රථම වරට උද්භිත විද්‍යාත්මක වටිනාකම් පිලිබඳ අධ්‍යයනයක් කරමින්
කතිකාවතක් ඇති කළේ ඉංග්‍රීසි ජාතික හෙන්රි රිච්මන්ය. ඒ 1887 දීය.
උස් පහත් වෙමින් දිවෙන මෙම කඳු පෙළ උතුරුමැද පළාතේ පිහිටි උසින් වැඩිම කන්ද වේ. මෙහි
වාර්ෂික වර්ෂාපතනය මිලි ලීටර් 1000-2000 පමණ වේ. සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක
27කි. අනුරාධපුර, කැකිරාව පෙදෙස තුළ පිහිටි රිටිගල කඳු වැටිය ජෛව විවිධත්වය හා
පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් සොබා දහමේ අපුරු දායාදයකි. මෙය හුදකලා කන්දක්
නොවන අතර කොඩිගල කන්ද, උණ කන්ද, නා උල්පත්
කන්ද, ඖෂධ කන්ද, අමරාපති කන්ද, ආඩියා කන්ද සහ පලතුරු කන්ද යන පරිවාර කඳු පන්ති හතක
එක් වීමෙන් සෑදුනකි. මෙරට සෞන්දර්යාත්මක වටිනාකම මෙන්ම උද්භිද විද්‍යාත්මක හා
ඓතිහාසික වටිනාකම ලොවට විදහා දක්වන රිටිගල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අති සුන්දර
නිසංසල භූමි භාගයකි.
ඓතිහාසික
වශයෙනුත්, පාරිසරික වශයෙනුත් වැදගත්වන රිටිගල අප රටට අලංකාරය ගෙන එන ස්වභාව
සෞන්දර්යයෙන් අනුන කඳු වැටියකි. මහාවංශය ආදී පුරාතන ග්‍රන්ථයන්හි “අරිට්ඨ පබ්බත”
නමින් හැඳින්වෙන මෙම පර්වතය දේවානම් පියතිස්ස රජුගේ බෑණා වූ අරිට්ඨ ඇමතිවරයාගේ
නමින් හැඳින්වූ බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි. අරිට්ඨ යන පදයේ බිහිසුණු යන අර්ථයද
ගැබ්ව ඇති බැවින් මෙය “බිහිසුණු පර්වතය” වශයෙන්ද හැඳින්විය හැකිය. ඉතිහාසගත මහා
විරුවන් කිහිප දෙනෙකුට රැකවරණය සැලසූ පර්වතය යන අරුතින් මෙය “රැකවරණ කන්ද” නමින්
හැඳින්වූ බවට ජනප්‍රවාදය සාක්ෂ්‍ය දරයි. ලංකාවේ පළමු සිංහල නරපතියා ලෙස සැලකෙන
පණ්ඩුකාභය කුමරු තමන්ට එරෙහි වූ මාමාවරුන් සමඟ යුද වැදීමට සේනා සංවිධානය කළේද රිටිගල කඳු යායේදිය. එමෙන්ම
ලක්දිව ප්‍රථම රහතන් වහන්සේ වන අරිට්ඨ හිමියන් ඇතුළු 500ක් වූ සංඝ රත්නය රිටිගල අරන්‍යවාසිව
විසූ බව මහාවංශයේ සඳහන් වේ.
කටාරම්
කොටන ලද ගල්ලෙන් 74ක්ද, ශිලා ලේඛන 152ක්ද, ඓතිහාසික වටිනාකම් ඇති ගොඩනැගිලි 140ක
පමණ නටඹුන්ද තිබේ. මෙහි අදත් දක්නට ලැබෙන සුවිශේෂම නිර්මාණය වන්නේ “ශෛලමය බන්දා පොකුණ”
යි. දකුණු ආසියාවේ ඇති විශාලතම ශෛලමය පොකුණ වන්නේ මෙයයි. රිටිගල කන්ද නැගීම ආරම්භ
වන්නේ මෙම පොකුණ ඔස්සේය. ගලින් ගල ලංකොට බැඳ සකසා ඇති බැවින් එය බන්දා පොකුණ නම්
විය.
මීට අමතරව ගල් පාලම්, පියගැට පේළි,
කවාකාර ශෛලමය වේදිකා, ඔප දැමූ ගල්පුවරු, සලපතළ මළු ආදී ශෛලමය නිර්මාණ තුළ ගැබ්ව
ඇත්තේ අපගේ අතීත නිර්මාණ කෞෂල්‍යයයි. පණ්ඩුකාභය
රජුගේ යැයි සැලකෙන ගලින් නිම වූ පා සටහනක් මෙහි අදටත් දක්නට ලැබේ.
රිටිගල කන්ද වැදගත් වන්නේ ඉහත සඳහන් පුරාවිද්‍යාත්මක
හා ඓතිහාසික සාධක නිසා පමණක් නොවේ. එය ජෛව විවිධත්ව පරාදීසයකි. මෙහි ඇති විශේෂත්වය
වන්නේ මෙම කඳුවැටිය තුළ එකිනෙකට වෙනස් වූ පරිසර පද්ධතින් 03ක් දක්නට පැවතීමය. කඳු
වැටියේ පහලම කොටසේ “වියළි මිශ්‍ර සදාහරිහ වනාන්තරමය ලක්ෂණ” පවතී. මෙම ප්‍රදේශයේ
මොර, හල්මිල්ල, වීර, පලු, නා වැනි රජරටට ආවේනික ශාක වර්ග පවතී. කඳු වැටිය මධ්‍ය තලය තුළ දක්නට ඇත්තේ “තෙත් කලාපීය වනාන්තර ලක්ෂණ”ය.
මෙම පියසේ ඇටඹ, කුඩුදව්ලා, ඕමාර, කැන්ද, නා වැනි ශාක
සුලභව දක්නට ලැබේ. කඳු මුදුනේ දකින්නට ලැබෙන්නේ “කඳුකර කලාපීය වනාන්තරවල ලක්ෂණ”යි. නෙලු, බිනර, කැකුණ, දුම් වැනි ශාක වර්ග මෙහි පවතී. එම
පරිසර පද්ධතීන්වල වැවෙන මහා වනස්පතියේ සිට කුඩා පැලෑටිය දක්වා වූ වෘක්ෂ ලතාදියෙන් මෙම
භූමිය වැසී තිබීම විශේෂත්වයකි.
තුරු ගොමු හා ලියගොමුවලින් පිරී පවතින මෙම සොඳුරු වන
පියසේ තිබෙන අඩි 50ක් පමණ උස “වන මී” ගස ශ්‍රී ලංකාවේ අන් කිසිදු තැනකින් සොයාගත
නොහැකි දුර්ලභ ගනයේ වෘක්ෂයකි. දසත විහිදුණු අතුපතර ඇති මෙම රූස්ස ගසෙහි කඳ පළුදු
කළ විට රුධිරය වැනි රතු පැහැති දියරයක් වැගිරෙයි. මෙය දියවැඩියා රෝගයට මහඟු ඖෂධයක්
බව කියයි. මෙහි මල් මී සොයමින් යනෙන සමනලුන්ගේ දසුන අතිශය චමත්කාරය. මෙහි ඇති “වෙබ්බඩංගා” නම් වැල් විශේෂය දැවැන්ත නයින් පිඹුරන් මෙන් ගස්
වෙලාගෙන සිටින අයුරු දැකීම බියක් මෙන්ම සුන්දරත්වක්ද
දනවයි.
රිටිගල කන්ද ඖෂධ පැළෑටිවලින් ගහන ස්ථානයකි. මේ හා
සම්බන්ධ අපූරු ජනප්‍රවාදයක්ද වෙයි. ලංකාවේ රවණා රජු සමග සටනට පැමිණි රාම කුමරුගේ
සොහොයුරු ලක්ෂ්මණ හදිසියේ තුවාල ලැබීය. රාම කුමරු හිමාලයෙන් ඖෂධ පැළෑටි ගෙනෙන්නට
හනුමන්ව පිටත් කළ අතර ඉන්දියාවට යන අතරතුර ඔහුට ඖෂධවල නම් අමතක වූයෙන් ඔහු හිමාලයේ
ඖෂධ උයනෙන් කොටසක් උදුරාගෙන ලංකාවට ගෙනවිත් රිටිගලට අතහැර තිබේ. අදටත් රිටිගල
කන්දේ පැතිරී තිබෙන්නේ එම ඖෂධ පැළෑටි බව
පිළිගනී.
මුහුදු මට්ටමේ සිට මීටර් 766ක් උසින් පිහිටි රිටිගල කඳු
ශිඛරය මතට නැග අවට නරඹන්නන් හට මිහින්තලය, රුවන්වැලිසෑය ආදී අනුරාධපුර පුදබිමේ පුජනීය
ස්ථානද මින්නේරිය, ගිරිතලේ වැව්ද දිස්වේ. චෝල ආක්‍රමණ හේතුවෙන් ආරණ්‍ය සේනාසනය විනාශ
වීමෙන් පසු මිනිස් පාදස්පර්ශයෙන් තොරව මහා මුකලානක් බවට පත් වූ රිටිගල 1872 දී
මාර්ක් ටේල් නමැති පුරාවිද්‍යාඥයා විසින් කරන ලද පර්යේෂණ මගින් ලෝකයට නිරාවරණය කරන
ලදී.
ශ්‍රී
ලංකාවේ ක්ෂීරපායි සත්ත්ව විශේෂ 35ක් පමණ රිටිගලදී හමු වෙයි. එමෙන්ම එය වන අලින්ගේ
සංක්‍රමණික මාර්ගයකි. පක්ෂි විශේෂ 122ක්, උරග විශේෂ 59ක්, උභය ජීවින් 17ක්, මත්ස්‍ය
වර්ග 25ක්, සමනළ විශේෂ 65කට පමණ රිටිගල නිජබිම වී ඇත. මෙහි ඇති විශේෂත්වය නම් මෙයින්
සත්ත්ව විශේෂ 40ක් ලංකාවට ආවේනික සතුන් වීමයි. මෙහිදී දැකගත හැකි “දවාසැරි හූනා” නම් වූ විශේෂය රිටිගල හැරෙන්නට ලොව අන් කිසිදු ස්ථානයක
නොමැති බව සඳහන් කළ යුතුය. එමෙන්ම මෙහි අවුරුද්ද පුරාවටම නොසිදී ගලා එන ජල උල්පත්ද ඇත.
මෙම
පරිසරයේ ඇති වටිනාකම නිසාම හෙක්ටයාර් 1528ක් වන මෙම භුමිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
මගින් දැඩි රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 1941 වර්ෂයේදීය. මෙය නැරඹීම
සඳහා වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂකගෙන් ලිඛිත අවසරයක් ලබාගත යුතුය.
රිටිගල
කන්ද නිසා ඒ අවට පරිසරයද අමුතුම සුන්දරත්වයකින් පෙනෙයි. එය සොබා දහමේ අපුර්ව
නිර්මාණයක් බව හැඟී යන්නේ එබැවිනි.
රිටිගල වන
පියස පිලිබඳ කතා කිරීමේදී එහි ඇති නටඹුන් අමතක කළ නොහැක. අතීත මුතුන් මිත්තන්ගේ
නිර්මාණ ශක්තිය හා ඔවුන් සතුව තිබූ තාක්ෂණය පිලිබඳ මෙමඟින් වටහා ගත හැකිය. රිටිගල කන්දේ
ආරාම සැලැස්ම සුන්දර කරමින් නිමවා ඇති පෙත්මග දුටුවන්ගේ සිත් පිනවයි. වනය මැදින්
ඉදිරියට විශාල පැතලි ගල් අල්ලා නිමවා ඇති මෙම පෙත් මග ආරාමයට ඇතුළු වීමට ඇති ප්‍රධාන
මාර්ගයයි. අතීතයේ රිටිගල ලෙන් තුළ වැඩ වාසය කළ භික්ෂූන් මෙම දර්ශනීය වූ පෙත් මගේ සක්මන්
භාවනාව වැඩු බව ජනප්‍රවාදයේ පවතී.
අද වන විට
රිටිගල පරිසරය සංස්කෘතික ත්‍රිකෝණයට අයත් පෞරාණික ස්ථානයක් ලෙසද ප්‍රකාශයට පත්කොට
ඇත. ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක නටඹුන් රැසක් දරාගෙන සිටින ජනශ්‍රැති හා ජනප්‍රවාදයන්
රැසකට උරුමකම් කියමින් සිටින සුන්දර ශ්‍රී ලංකාවේ අසිරිමත් වන පියස, රිටිගල කන්ද
වෙනස් වන ලොව දෙස නිහඬව බලා සිටී.