පන්හිඳට පිවිසෙන්නන්

Friday, August 11, 2017

දුවේ නුඹ මගේ ප්‍රාණයයි. . .



අම්මා සඳක් වුණු මගේ ලෝකේ මුළු අහසම නුඹයි තාත්තේ.... පාරේ ගිය ත්‍රී වීල් එකක තිබුණ ලස්සන වදනක් මගේ ඇස් ඉස්සරහ නතර වුණා. ඇත්තටම ඒ වචන අස්සේ හැංගිලා තියෙන අදහස කොච්චර නම් සුන්දරද? අම්මලා තරමට දරුවන්ට සමීප නොවුනත් තාත්තගේ ආදරේ නොසැලෙන මහා මෙරක් වගේ හැමදාමත් හදවත ගැඹුරුම තැනකට වෙලා දරුවන් දිහා බලාගෙන ඉන්නවා. දරුවෝ පුංචිම කාලේදී අත් දෙකෙන් අල්ලලා ඇවිදින්න පුරුදු කරපු හැටි, කර උඩ තියාගෙන ඇවිදපු හැටි, තුරුලට අරගෙන හුරතල් කරපු හැටි, අම්මගේ තරවටුවලින් බේරගත්ත හැටි. . . . තවත් සුන්දර මතකයන් ගොඩක් තාත්තගේ හදවතේ හිර කරගෙන හෙමි හෙමින් ලොකු මහත් වෙන දරුවෝ දිහා උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා ඇති. සමහර වෙලාවට අපිට නොදැනෙන්න අඩන්න ඇති. . .  අපේ දියුණුව දැකල කාටත් වඩා තාත්තට සතුටු හිතෙන්න ඇති.



ඒ විදියට පපුතුරේ හංගගෙන ඉන්න තාත්තගේ ආදරය ලස්සන පද වැලකට ගැලපුණ ගීත බොහොමයක් තියෙනවා. බණ්ඩාර ඇහැලියගොඩ මහතාගේ පද රචනයකට රෝහණ වීරසිංහයන්ගේ සංගීත පාවඩ මතින් සුනිල් එදිරිසිංහයන්ගේ හඬ මුසු වීමෙන් අපූරු ගීතයක් බිහි  වෙනවා. තම ආදරණිය  දියණියගේ මංගල දවසේ පියෙකුගේ මුවින් පිටවෙන සෙනෙහෙබර ආමන්ත්‍රණයක් ලෙසින් කියවෙන “දුවේ නුඹ මගේ ප්‍රාණයයි” ගීතය  එකී තේමාව අපුර්වත්වයෙන් යුක්තව රසිකයන් අභිමුවට ගෙන එනවා.



“දුවේ නුඹ මගේ ප්‍රාණයයි
සැබෑ වුණ සුබ සිහිනයයි
සෙනෙහසින් කුල ගෙට පියනගන්නේ
සනුහරේ අභිමානයයි. . .”

විවාහ පත් වුණු සෑම පිරිමියෙක්ම පිය පදවිය ලැබීමේදී දකින එකම සිහිනය නම් දියණියකි. පියවරුන් පිරිමි දරුවන්ට වඩා ගැහැණු දරුවන්ට වැඩි කැමැත්තක් දක්වන බව රහසක් නොවේ. මේ පියාද තම දියණිය දකින්නේ එලෙසිනි. ඒ නිසාම පියා  දියණිය  පණ වගේ රකිනවා. ඒ විදියට ඇති දැඩි කරන ආදර දියණිය පතිනියක් ලෙසින් කුලගෙදරට පිය මනින දිනයේ  ඇයගේ චරිතවත් බවට පියාගෙන් සහතිකයක් ලැබෙනවා. ඒ තමයි දියණිය හොඳට හැදී ඒ සනුහරේටම අභිමානයක් ලෙසින් නිවසින් පිටව යාම.


“මම මලක් සේ නුඹ නොහැදුවේ
පෙති තැලී පරවෙන නිසාමයි
දුක දිනා හිනැහෙන හැටි දුවේ
නුඹ දැන උගත් පාඩම තමයි. . .” 

මල් වැස්සට තෙමෙනකොට පෙති කඩාගෙන වැටෙනවා. තද හිරු රශ්මියට වියලී යනවා. මේ බව තමන්ගේ අත්දැකීමෙන් දන්නා පියා දියණියව මලක් වගේ නොහදන්න තීරණය කරනවා. වයසින් මුහුකුරා යද්දී දියණියගේ ජිවිතයට  දුක දැනෙන්න ගන්නවා. ඒ නිසාම නියමිත වයසේදී දුවට දුක ජය ගන්නා විදිය අමුතුවෙන් කියා දෙන්න ඕනෙ නෑ. මලක් වගේ හැදුවොත් මේ කටුක සමාජයේ සැඩ සුලන් පහරට අහුවෙලා දුවගේ ජීවිතයට ඒ කුහකකම් දරා ගැනීම අපහසු වෙන්න පුළුවන්. ගැහැණියට මහ පොළව වගේ දරා ගැනීමේ ශක්තියක් තියෙන්න ඕනි. මොකද මේ සමාජය ගැහැණිය දෙස බලන්නේ පිරිමියාට වඩා වෙනත් ලෙසකින්. එය සුඛදායක වගේම දුක්ඛ දායක වෙන්නත් පුළුවන්. ඒ නිසාම දියණියකට ඕනිම දුකක් දරා ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනි. පිරිමියාව නහවා ගෙට ගන්නා සමාජය ගැහැණියගේ පිරිසිදු බව සුදු පිරුවටයකට සිමා කිරීම කොතරම් දුරට සාධාරණදැයි සැකයකි. එහෙත් මේ පියාට සමාජය වෙනස් කළ නොහැක. ඒ නිසාම චරිතවත් බවින් පිරිපුන් දුවණියක් සැදීමට පියා උත්සාහ ගෙන ඇත. මේ පියා දියණිය මලක් වගේ නොහැදු නිසා ඇයට දුක දරා ගෙන හිනැහෙන්න පුළුවන්.





“මිල මුදල නිළ බල යා නොදෙයි
කළ හොඳම විතරක් ඉතිරි වෙයි. . .”


විශාකාව  විවාහ කර දෙන  දිනයේ ඇයගේ පියා ඇයට වටිනා උපදෙස් කිහිපයක් ලබා දුන් බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. ඒ ලෙසින්ම මේ පියාත් දියණියට තම විවාහ ජීවිතය සාර්ථක කරගන්න මේ විදියට උපදෙස් දෙනවා. මිල මුදල් හා නිළ බලවලට ජීවිතය සාර්ථක කළ නොහැක. එය තාවකාලික සතුටකි. ඊට වඩා තමා පෙර කළ හොඳ  පමණක් ඉතිරිවන  බවට පියා උපදෙස් දෙයි.


“අප මී මුතුන් මිත්තන් එදා
සිය ලේ කඳුළු දහදිය හෙලා
පරපුරෙන් පරපුරට රැගෙන ආ
ඒ ගෞරවය මගේ දුව තමා
නුඹ යන්නේ හිස් දෑතින් නොවේ
ගෙනියන්නේ ඒ අභිමානයයි. . .”



කාන්තාවකගේ නොයිදුල් බව වීදුරුවක් මෙනි. එක් වරක් බිඳුණ හොත් එහි පළුදු වූ ලකුණු කිසිදා යථා තත්වයට පත්කළ නොහැක. ඒ නිසාම විවාහයට ප්‍රථම කාන්තාවක් තම චරිතය පණ මෙන් ආරක්ෂා කරයි. විවාහයට පෙර ජීවිතය නිවැරදිව ගත කළ කාන්තාවක් පරපුරටම ගෞරවයකි.  “සිය ලේ කඳුළු දහදිය හෙලා” යන්නෙන් රචකයා උත්සාහ ගන්නේ නිවැරදිව ජීවිතය ගත කළ ගැහැණියකට නොබිදිය හැකි වටිනාකමක් ලබා දී මනාලයාට ඇය ගැන ආඩම්බරයක් ඇති කිරීමටය. දියණිය පති කුලයට රැගෙන යන්නේ ඒ නොබිදිය හැකි අභිමානයයි.

. . .විජිතා ජයතුංග. . .

Thursday, July 20, 2017

ගල්ලෙන බිඳලා ලෙන් දොර ඇරලා





මනමේ නාට්‍යයෙන් හෙළ කලා කෙතේ මුල් බිජුවට වැපිරූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සිංහබාහු තුලින් එහි අග්‍රගන්‍ය ඵල නෙලා ගන්නට සමත් විය. වර්ෂ 1961 අගෝස්තු මස 31 වෙනි දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී ප්‍රථම වරට රංගගත කළ සිංහබාහු නාට්‍ය සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ඨතම දෘශ්‍ය කාව්‍ය ලෙසින් ප්‍රේක්ෂක සහ විචාරක දෙපිරිසේම සම්භාවනාවට පාත්‍ර විය.

සිංහබාහු කතා පුවත  සැකෙවින් මෙසේය.
"සුප්පා දේවිය සිය පිරිවර සමගින් වනය මැදින් ගමන් කරද්දී  සිංහයා පැමිණ පිරිවර පලවා හැර කුමරිය සිය පිට මත තබා වන වැදුනු බව කියති. පසුව මෙම සිංහයා ඉමහත් ආදරයෙන් කුමරිය රැක බලා ගත් බවද ඔහුට දාව සිංහබාහු හා සිංහසීවලී යන දෙදරුවන් උපන් බවද ජනප්‍රවාදයන්හි කියැවේ. තම බිරියට හා දරු දෙදෙනාට ඇවැසි සියළු දේ සිංහයා විසින් සැපයූ නමුදු ඔවුන් හට සිංහ ගුහාවෙන් පිටතට යෑම තහනම් විය. සිය පුතා වැඩිවිය පැමිණි කල සිංහ ගුහාව විසල් ගලකින් අහුරා සිංහ තෙම කෑම සපයා ගැනීම උදෙසා පිටත්වූ බව පැවසේ.
සිංහබාහු හට වයස දහසයක් වූ කල විසල් ගල පෙරලා තම මව හා සෙහොයුරිය සමග වංග දේශයේ අගනුවර වෙත පලා ගිය බව පැවසේ. පළමුව අතිශය දුකට පත්වූ සිංහයා පසුව වියරු වැටී ගම් නියම් ගම් පැන මිනිසුන් මරා දැමීමට පටන් ගෙන ඇත. සිංහයා මැරීමට කිසිවකු සමත් නොවූ කල සිංහබාහු ඉදිරිපත් වීළු. පුතු දුටු කල සිංහයා සෙනෙහසින් ඉදිරියට පැමිණි කල, සිංහබාහු තම දුන්නෙහි තැත මුදවා හැරීය. පළමු දෙවැනි හී පහර දෙකම සිංහයාගේ ස්නේහය නිසාවෙන්ම නළලත වැදී බීම වැටිණි. පසුව සිංහයා කිපුණේය. තුන්වන හී සර සිංහයාගේ හදවත පසාරු කලේය. එම වීර ක්‍රියාවට වංග දේශයේ කිරුළ සිංහබාහුට පිරිනැමුනු බව කියැවේ. මෙය නිෂ්ප්‍රභා කල ඔහු, තම මවගේ ජන්ම භූමිය වන වගු රටෙහි සිංහපුර නමින් නව පුරවරයක් පිහිටුවා සිංහසීවලී ආවාහ කොට ගෙන ජීවත් වීළු. ඔවුනට දරුවන් තිස් දෙදෙනෙකු ලැබුනු අතර, වැඩිමහල්ලා විජය වූ අතර සුමිත්ත  දෙවැන්නා විය."



සරත්චන්ද්‍රයන්  සිංහබාහු නාට්‍යයට  සිංහල ජාතියේ උපත පිළිබඳ මෙකී ජනප්‍රවාදය තේමා කොට ගත්තද මෙම කතා පුවත දෘශ්‍ය කාව්‍යයට නැංවීමේදී මුල්ම බීජය එතුමන්ගේ සිත්හි ජනිත වූයේ මහා වග්ග පාලියේ එන සුදොවුන් රජතුමා බුදුන් වහන්සේගෙන් කළ ඉල්ලීමක් බව ප්‍රකට කරුණකි. එනම්;

“පුත්‍ර ප්‍රේමය වනාහී හම සිඳී, හම සිඳ මස සිඳී, මස සිඳ නහර සිඳී, නහර සිඳ ඇට සිඳී, ඇට සිඳ ඇට මිදුළු තෙක් කිඳා බැස එහි රැඳී සිටී”

යන්නය. මෙය සරච්චන්ද්‍රයන් අතින් සිංහබාහු කතා පුවත තුළින් දෘශ්‍ය කාව්‍යයකට නැංවෙන්නේ මානුෂික සහ සම්බන්ධතාවන් හා ගැටලු විශ්ව සාධාරණ ගුණයෙන් පරිසමාප්තියට පත් කරමින්ය.



"පුතු සෙනේ මස් නහර  හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇටමිදුළු මත රඳා සිට
දුක් දෙයි නිබන්දා. . .”

යන දාරක සෙනෙහස පසුබිම් කොට පිය - පුතු  ගැටුම සිංහබාහු කතාව තුළින් නිරූපණය කරන සරච්චන්ද්‍රයෝ තම නිර්මාණය පිළිබඳව සිංහබාහු ප්‍රස්‌තාවනාවේ මෙසේ සඳහන් කරති.

"සිංහබාහු නාටකයේ වස්‌තුව විකාශනය වන්නේ එහි පාත්‍රයන් නිදහස්‌ පුද්ගලයන් සේ සිතා මතා කරන ක්‍රියාවල අනිවාර්ය ප්‍රතිඵල වශයෙනි."


මනමේ හි මෙන් ආකස්‌මික බලවේගයන්ට ගොදුරු වීමක්‌ හෝ හදිසියේ ගන්නා තීරණයක්‌ නිසා නොව සිංහබාහු හි චරිත ක්‍රියා කරන්නේ ඔවුන් සිතා මතා ගන්නා තීරණ මතය. එබැවින් සිංහබාහු වඩාත් ප්‍රායෝගික අත්දැකීමක්‌ රසිකයා හමුවට ගෙන ඒමට සමත් වේ. මෙසේ නිර්මිත සිංහබාහු නාටකයේ තම නාඹර පුතුගේ අභිලාෂයන් පිළිබඳව අනවබෝධයෙන් යුත් සාම්ප්‍රදායික මධ්‍යම පාන්තික පියකු සේ නිරූපිත එහෙත් අඹු-දරු සෙනෙහසින් නොඅඩු සිංහයා මෙන්ම දාරක ප්‍රේමය හා ස්‌වාමි භක්‌තිය අතරමැදි වී කටයුතු කරන සුප්පා දේවිය ද තම උරුමය සොයා යන සිංහබාහු ද යන චරිත තුළින් සරච්චන්ද්‍රයන් පරිසමාප්තියට පත් කරන මෙම අසාමාන්‍ය දෘශ්‍ය කාව්‍ය පවුල් සංස්‌ථාව විපරීතභාවයට බඳුන් වන වත්මන් සමාජයේද හදවත් සසල කිරීම අරුමයක්‌ නොවේ.

සිංහබාහු නාට්‍යය මගින් ඉදිරිපත් කෙරෙන මානව සබඳතා කිහිපයකි. එනම්,
©     සැමියා-බිරිඳ
©     පියා-දරුවන්
©     මව-දරුවන්
      ©     දරුවන්-දරුවන්

 යනුවෙනි. මේ සබඳතා පාදක කර ගනිමින් වත්මන් සමාජ සන්දර්භය තුළ පවතින පිය - පුතු සම්බන්ධය විශේෂ කොට  ප්‍රේක්ෂකයා හමුවේ ප්‍රතියමාන කිරීමට සරච්චන්ද්‍රයන් ගත් උත්සාහය අති විශිෂ්ඨය. සිග්මන් ප්‍රොයිඩ්ට අනුව  කුඩා පිරිමි දරුවකු සිය ළමා කාලය තුළ වැඩි වශයෙන් ආකර්ෂණය වන්නේ මවටය. ඔහු පෙන්වා දෙන්නේ කුඩා කළ පිරිමි දරුවා තුළ මව කෙරෙහි ඇති මෙම සබඳතාව වැඩි වියට පත් විට පියාගේ ආධිපත්‍ය නිසා කිසියම් ගැටලුකාරී තත්වයකට එළඹෙන බවයි. එනම් සිය පියා කෙරෙහි නොරිස්සුම් සහගත හැඟීමක් පිරිමි දරුවා තුළ ඇති වෙයි. පිය-පුතු සබඳතාව සෑම විටම විකාශනය වන්නේ මේ සංකීර්ණ තත්වයන් යටතේය. සිංහබාහු නාට්‍ය මගින් ප්‍රේක්ෂකයා වෙත ප්‍රබල ලෙස මේ ගැටුම නිරුපණය කිරීමට සරච්චන්ද්‍රයන් උත්සුක වී ඇති බවක් දක්නට ලැබේ.



“නැත පියාණෙනි කිසිදු මන දොළ
සමා වුව මැන දොසක් වී නම්
වෙසෙන සඳ මේ පාලු ලෙන තුළ
නෙක් දිසා සිත පියඹා යයි”

නාට්‍යයේ එක් අවස්ථාවක සිංහබාහු තම මව්පියන්ගේ සැබෑ තතු හෙළි කර ගන්නවා. එම අවස්ථාවේ සුප්පා දේවිය තම දෙදරුවන් ලඟට කැඳවා,



“වගුරට නරනිදු දඹදිව පරසිඳු
හට දා වූ මම වෙමි දෙටු දූ
සරණ ගිය හිමි සමිඳුනේ
සමඟ වෙසෙමිය ගිරි ලෙනේ. . .”

යනුවෙන් තමන් කවුරුද යන්න දරුවන්ට හෙළි කරයි. මෙහිදී මවගේ සුදුසුකම් ලෙස  සිංහබාහු දකින්නේ ඇයගේ ඉහල පාන්තික සුදුසුකම් පමණයි.  



“සිංහයෙක් වේ මා පියා
ජන්මයෙන් ලත් මේ අරන්නේ
පුරුදු වූ වැසේ සදා. . .”

“කුමරියක් වේ මගේ මව්
උත්තරීතර ජන්ම ලද්දී
උරුම වූ යස ඉසුරටා
මටද හිමි වේ වංග රාජ්‍යය
ප්‍රබල නරවර පරපුරෙන්
කුමක් දෝ මේ පාපේ ලෙනේ
මේ විසීමේ සෙතක්දෝ. . .”

මවගෙන් තම උරුමය දැන ගන්නා සිංහබාහුට අවශ්‍ය වන්නේ වනයේ ජිවිතයට සමු දී රජ සැප සොයා යන්නටය. ඒ වෙනුවෙන් ගල්ලෙන සිර කර ඇති ලෙන් දොර බිඳ මවත් නැගණියත් සමග පියාගෙන් මිදී යාමට ඔහු ක්‍රියා කරයි. ආදරණිය බිරිඳත්, දරු දෙදෙනාත් වෙනුවෙන් අපරිමිත සෙනෙහසක් හදෙහි දරා සිටි සිංහ තෙම වනයේ පළ වැල නෙලා පැමිණෙන විට ලෙන් දොර බිඳ ඇති බව දැක වියරුවෙන් කෑ ගසයි. එය ආදරය. සෙනෙහසින් පිරි ප්‍රිය විප්පයෝගය නිසාවෙන් හට ගත්තකි.

“ගල්ලෙන බිඳලා. . . ලෙන් දොර ඇරලා
සිංහබා. . . . සිංහබා. . . . සිංහබා. . .
මා සොඳුර. . .  මා සොඳුර. . .  මා සොඳුර. . .  
සිංහ සීවලී . . . මා ප්‍රිය දියණිය. . .
ගල්ලෙන බිඳලා ලෙන් දොර ඇරලා
ගොසින් සැම දෙන නැතේ කිසිවෙක්
මම දැන ගතිමි. . . මම සැක කළෙමි
සිංහබා. . . . සිංහබා. . . . සිංහබා. . .
ලෙන තුළ නොවෙති - පෙරලා නොයෙති
මම දැන ගතිමි - මම සැක කළෙමි
සුරතල් දියණිය මොළකැටි වදනින්
මා සනසන්නිය අහර පිසන්නිය
කවන්නිය . . . පොවන්නිය. . .
මා ගැන. . . බිය වන්නිය
වනයේ දුකක් වෙද. . . අසන්නිය. . . සොයන්නිය
ඈත් ගොසින්ය. . . ඈත් ගොසින්ය
ඇයි සුදු දුවනියේ නුඹවත් නොසිටියෙ
සොහොයුරා නම් ඔළ මොළ ගති ඇත
නුඹ මෙන් මුදු නැත
ඔහුගේ අණටද කීකරු වූයේ
පෙරලා එන්නේද ඔහුගෙන් ගැලවී . . .”




සිංහබාහු තුළ හට ගන්නා චිත්තාවේග හුදෙක් ලෙන තුළ සිර කිරීමක් නිසාම හටගන්නක් විය හැකිද? මේ ආවරණ සහිත ලෙන නම් පිතෘ ආරක්ෂාව නොවේද? සිය පුතු කෙරෙහි උපන් ආදරය නිසා පියා විසින් සිය දරුවා රැක ගනු ලැබීම සඳහා ගනු ලබන පියවර නොවේද? සිංහයා යනු හුදෙක් සිංහබාහුගේ පියා පමණක් නොවේ, සමස්ත පියවරුන්ගේ නියෝජනයකි. නාට්‍ය අවසන සිංහබාහු විසින් පියා මැරීමට සූදානම් වන අවස්ථාවේ සිංහයාගේ මුවින් පිටවන මේ වදන් එකී අදහස ප්‍රත්‍යක්ෂ කරනු නියතය.


“ප්‍රේමයෙන් . . . .
රැකුයේ මෙපුතා නොවේදෝ
ආන්තරායෙන් රැකගෙන වනයේ
ප්‍රේමයෙන් . . . .
රැකුයේ මෙපුතා නොවේදෝ
මා මරණට දැන් එන්නේ මෙලෙසා
ඔද වැඩි හින්දා දෝ යෞවනයෙන්”


සමස්තයක් වශයෙන් ගත් කළ ස්‌වකීය පරිපාකයට පත් බුද්ධි මහිමයෙනුත්, නිර්මාණ කෞශල්‍යයෙනුත් අසමසම ප්‍රතිභාවෙනුත් සකල කලා පිළිබඳ ඇසූ පිරූ තැන් ඇති අපේ සංස්‌කෘතික විඥනය අතැඹුලක්‌ සේ ග්‍රහණය කරගත් සරච්චන්ද්‍රයන්ගේ මෙම අසමසම දෘශ්‍ය කාව්‍යය වූ සිංහබාහු වසර පනහකටත් පසුව අද පවා සිංහල නාට්‍ය වංශයේ සදා තාරුණ්‍යයෙන් හෙබි කලා කෘතිය බැව් සඳහන් කිරීම වටී.



Sunday, July 16, 2017

රත්නාවලී නාට්‍ය චරිත ලක්ෂණ




ක්‍රි:ව 606 - 647 දක්වා වූ වසර 41 තුළ භාරත දේශයේ කානවුජ්හි රජ කළ ශ්‍රී හර්ෂදේවයන් විසින් රචනා කරන ලද රත්නවලියට වස්තු වූයේ පාලි සාහිත්‍යයෙහි දක්නට ලැබෙන වත්ස රජ චරිතයයි. ශ්‍රී භාෂයන්ගේ “ස්වප්න වාසවදත්තාව” ට වස්තු වූයේද මෙයමයි. නාට්‍ය සමස්ථයක් ලෙස ගෙන රස විදීමේදී ශ්‍රී හර්ෂදේවයන් නාට්‍ය රචකයෙකු ලෙස දැක් වූ දක්ෂතාවය මනාව අවබෝධ කොටගත හැකිය. රත්නාවලී කතා පුවත සැකෙවින් මෙසේය.


කොසඹෑ නුවර වත්ස (උදේනි ) රජු බලයෙන් පිරිහෙනු දුටු අගමැති යලිත් රජු යථා ස්ථානයේ පිහිටුවාලීමට මාන බැලුවේය. ඔහු වික්‍රමභාහු නම් සිංහල රජුන්ගේ රත්නාවලී නමැති දියණිය රජුට ආවාහ කර දෙන මෙන් ඉල්ලා සිංහල දේශයට දූතයන් යැවීය. එහෙත් එය රජුගේ අග බිසව වන වාසවදත්තාට කරන බලවත් අකටයුත්තක් සේ සැලකු සිංහල රජු එයට එකඟ නොවීය. කෙසේ හෝ සිය අභිලාශය මුදුන් පමුණුවා ගැනීමට සිතූ අගමැති අන්තඃපුරයේ පැතිරුණු  ගින්නකින් වසවදත්තා බිසව මිය ගිය බවට ආරංචියක් පතුරුවා හැර, අනතුරුව රත්නාවලී කුමරිය රජුට පාවා දීමට සිංහල රජු කැමති කරවා ගත්තේය. එහෙත් අතරමගදී නැව බිඳී රත්නාවලී කුමරිය මුහුදු වෙරළට පා වූවාය. ඉක්බිති කෙසේ හෝ අගමැතිට හමු වූ ඇය “සාගරිකා” යන අපර නාමයෙන් යුතුව වසවදත්තා බිසවට භාර කරන ලදී. කුමරියත් බිසවත් එකිනෙකා හඳුනා ගැනීමට අපොහොසත් වුහ. මෙසේ සිටින අතර රජු හා සාගරිකා අතර අන්‍යෝන්‍ය ප්‍රේමයක් හට ගනී. මේ මෙම හබය වාසවදත්තාට හිසරදයක් විය. ඈ සාගරිකා රජුගේ දර්ශනයෙන් ඉවත් කිරීමට වෑයම් ගනී. ඉවසිය නොහැකි තැන බිසව සාගරිකා යමින් බැඳ අන්තඃපුරයේ සිරකර තබයි. එහෙත් අවසානයේ අගමැති විසින් එවන ලද ඉන්ද්‍රජාලිකයෙකු නිසා යලිත් සාගරිකා මුණ ගැසීමේ අවස්ථාව රාජිට හිමි  වේ. මේ මොහොතේ සිංහල රටින් පැමිණ සිටි අමාත්‍යවරයා රත්නාවලී කුමරිය හඳුනා ගනී. අනතුරුව සාගරිකා හඳුනා ගන්නා වාසවදත්තා බිසව සියතින්ම ඇය රජුට පාවා දෙයි.


 රත්නාවලියෙහි උදේනි රජු, සාගරිකා (රත්නාවලි), වාසවදත්තා සහ විදූෂක යන ප්‍රධාන පෙළේ චරිත නිර්මාණය වන්නේ එක් චරිතයක් අනෙක් චරිතය හා ගැටෙන ආකාරයෙනි. එබැවින් චරිතාන්තර සම්බන්ධය ගැන මනා අවබෝධයක් ලබා දීමට රචකයා බොහෝ උත්සාහ දරා ඇත.

යම් යම්   පරිසර වර්ණනා සහ එම පරිසරවල ගැවසෙන චරිතවල ස්වරූපය, වර්ණනා යනාදිය ගැන රචකයා විශේෂ අවධානයක් යොමු කරන ආකාරය පෙන්වීමට 1 වන අංකයෙහි  විදුෂක සහ රජු වසන්ත උත්සවශ්‍රිය නරඹන විට ඔවුන් තුළ ඇති වූ රාගික හැඟීම් ගීතයට නගා ඇත්තේ මෙසේය.


රජ : (අවට බලා )
පැතුරුණු සුවඳ සුණු අරුණලු පැහැය       තුලා
නේ මිණි රුවන් කැල්මෙහි ගැලුණු මනා කලා
සරතස ගතේ පා කර දිලෙන දිය            වැලා
සිහියට නගයි නා ලොව සිරිසර            විසුලා                                        (නිශ්ශංක පරිවර්තනය )

රජතුමාට දැන් දැන් පෙනෙන්නේ පයෝධර උලුප්පා නටමින් එන සේවිකාවන්ය. රජ කාමුකය. ඔහුගේ කාමුක බවට අගුල්පත් දමන්නේ විදුශකය. විදුෂක බමුණෙකි.රජු ක්ෂත්‍රිය වංශිකයෙකි. රාජ චරිතය මුලින් දක්වා තිබෙන්නේ සැහැල්ලු දිවි පැවැත්මෙන් යුත් තැනැත්තෙකු ලෙසින්ය. තවද දාසීන් නටන විට රජතුමාට පෙනෙන්නේ ඔවුන්ගේ පයෝධරයෝය. ඒ දෙස රජු විස්මයෙන් නෙත් හෙළයි. එහිදී ඔහු ප්‍රකාශ කරන්නේද රතිය දනවන වදන්ය. මකරන්ද උයනට යන රජුගේ සිතට දැනෙන්නේ මධුසමය පිලිබඳ වූ හැඟීම්ය. වාසවදත්තාගේ හැඩරුව නරඹන රජු රතියෙන් මත් වී රති සාප විඳීමට දේවිය සමඟ  මාළිගයට පිවිසෙයි. ඇතැම් අවස්ථාවලදී රජ ප්‍රේක්ෂකයාගේ අවඥාවටද ලක්වෙයි. සුසංගතාගේ කපටි බස්වලට රැවටී දේවියට බියෙන්  ඇගේ කට වැසීම, කර්ණාභරණයක් දීම එවැනි තැනකි. එහෙත් රජුගේ චරිතය සකස් වී ඇත්තේ ස්වභාවික කුලීනත්වයෙන් දේවියට සේවය කිරීමත්, සාගරිකා කෙරෙහි පෙම් බැඳීමෙන් වැදුණු යම් අධික ප්‍රීතියක් වේ නම් එය විඳ ගැනීමත් යන බලවේග දෙක ඔහු කෙරෙහි බලපෑ ආකාරය අනුවය.  රජතුමාගේ සිත්හි මේ අන්‍යෝන්‍ය ව්‍යාපාර දෙකෙහි ඝට්ඨනය දක්නට ලැබෙන්නේ සාගරිකා ඔහුගේ දිවියට ඇතුල් වීමෙන් පසුවය. සාගරිකා හමු වීමට පෙර රජතුමා වාසවදත්තා නිසා දෘශ්‍ය සහ ස්පර්ශ කාමයට කැමති විය.


රජ : “ප්‍රියාව නොබෝ වෙලාවකට පෙර ජලස්නානයෙන්  අතිශයින් බබළන ශරීර කාන්ති ඇත්තා වූ, වනුප් මල් රැඳවිමෙන් මනහර වැ දිලිසෙන වස්ත්‍රයෙන් මනෝහාරී වූ  අනංගයා පුදන තී ලදළුයෙන් සැරසුණු රුකෙක්හි වැලක් මෙන් බැබළෙන්නේහි”
(පඤ්ඤාසාර පරිවර්තනය)

එහෙත් රජතුමාට මකරන්ද උයනෙහි දී සාගරිකා ගැන දැනගන්නට ලැබේ. ඉන්පසු වාසවදත්තා නිසා රජු  තුළ පෙර මෙන් රතිය වැඩුණේ  නැත. දැන් ඇය පිළිබඳව ඔහු තුළ තිබෙන්නේ  “ස්වභාවික කුලීනත්වය” නිසා ආරක්ෂකයා ලෙසින් යුතුකම් ඉටු කිරීම වැනි හැඟීමකි. සාගරිකා දුටු පමණින් ඇය පිළිබඳ ප්‍රේමයක් රජුගේ සිත තුළ ඇති වූ බව පිළිගත  හැකි කරුණකි. සාගරිකාට  රජුගේ ප්‍රේමයත් වාසවදත්තාට රජුගේ සේවයත් කැප වූ අයුරු රචකයාගේ මේ විස්තරයෙන් වටහා ගත හැකිය.



රජ : (කලබලයෙන් නැගිට) ආ! අන්තඃපුරයෙහි ගිනි. අහෝ !  වාසවදත්තා දේවිය දැවිණි. හා ! ප්‍රිය වාසවදත්තාව”
(පඤ්ඤාසාර පරිවර්තනය)

වාසවදත්තා තමා ළඟ සිටින වගවත් රජුට අමතක විය. මේ ව්‍යසනාවස්තාවෙහි ඔහුට සිහි වූයේ අග මෙහෙසිය වූ වාසවදත්තාය. සාගරිකා නොවේ. රජුගේ සිතේ වාසවදත්තා කෙරෙහි ඇති වූ භක්තිය “තමා ඇගේ ආරක්ෂකයාය” යන හැඟීම මැනවින් නිරූපණය වී ඇත.
රජතුමාගේ චරිත නිර්මාණයට වාසවදත්තාට වඩා විශාල තැනක් නාට්‍යයෙහි වෙන්කර ඇති නිසා ඇගේ චරිතය අඩුවෙන් විග්‍රහ වී  ඇත. එබැවින් වාසවදත්තාගේ චරිත නිර්මාණයද සාර්ථක වී ඇත.

ඇගේ චරිතය දුක්බර හා ශෝඛාකූල ලෙසින් විග්‍රහ වී ඇත. සිය සැමියා තමාට පමණක් අයිති කර තබා ගැනීමට සිය දිවි දෙවැනි කොට ආදරය කළ තැනැත්තියකට අවසන උතුම් පරිත්‍යාගයක් කිරීමට සිදු වෙයි. සාගරිකාගෙන් තම සැමියා වෙන් කිරීමට මුලින් ඈ තැත් කළාය. එහෙත් අන්තිමේදී ඇය කරන්නේ;
“ආර්ය පුත්‍රය, මැයගේ පිතෘ කුලය ඉතා දුරය. එහෙයින් ඥාතීන් සිහි නොකරන සේ පිළිපදිනු මැනව” යනුවෙන් පවසා සාගරිකා රජුට පාවා දීමය. එවැනි දෙයක් කිරීමට තරම් අවංක උදාරබවක් ඇය තුළ පිහිටා තිබුණි. ඇය කළේ විශාල ආත්ම පරිත්‍යාගයකි. සාගරිකා සහ සිය සැමියා අතර සම්බන්ධය ඇගේ අතටම හසු වුණි. එහෙත් ඇය සිය සැමියාට දොස් කීවේ නැත. සිය පා මුල වැටුණු සැමියා ගැන සිතන ඇය පශ්චත්තාප වී ඔහු සැනසීමට වැයම් කරයි.  ඇය උණුවෙන ළයකින් හා පති භක්තියෙන් යුත් තැනැත්තියක් බව ඉන් පෙනේ.

සාගරිකාගේ එනම් වෙස් මාරු කර සිටින රත්නාවලී කුමරියගේ චරිතය මුල්කරගෙන මේ නාට්‍ය සකස් කොට ඇති නමුත් ඇගේ චරිතය වැඩි වශයෙන්  විකාශනය වී ඇත්තේ සිදුවන දෙය උද මිස ඇය කරන කියන දෙය අනුවම  නොවේ.  මෙහි ප්‍රධාන පරමාර්ථය සාගරිකාගේත් උදයන රජුගේත් එක් වීමය. සාගරිකා උදයන රජ පිලිබඳ සිත් ඇතිකර ගන්නා අවස්ථාවේ සිට ඔහු හා විවාහ වනතුරු ඇය වැඩි වශයෙන් ප්‍රයත්නයක් දැරී යැයි කිව නොහැකිය. දෛවයේ ආරක්ෂාවත් යෞගන්ධරායණගේ උපක්‍රමවල ආධාරයත් ඇති නිසා ඇයට උදයන රජු ලබා ගැනීමට හැකි වේ. සූත්‍රධාර පළමුවන අංකයේ ප්‍රවේශකයෙහි පවසන ලෙස “කෙනෙකුගේ ඉරණම කාටවත් වලක්වන්ඩ බෑ” යන්නෙන් ඒ ඉරණම අනුව උදයන රජතුමා සාගරිකාට ලැබෙන්නට තියෙනවා නම් එය සිදුවිය යුතුමය. එය දෛවයට අනුව සිදු වන්නක් නිසා සෑම සිදුවීමක්ම එයට අනුගතව සිදු වේ.



සාගරිකාට රජතුමා මුල්වරට මුණ ගැසෙන්නේ සැළලිහිණියා ඇයගේ වචනය අසා එයම යළි යළි කියවූ නිසාය. රජුගේ මේ වදන් ඒ බව පවසයි.

“පීඩිත අනඟ සර පහරට අසුව         ඉතා
අඟනක් යෙහෙලියන් අභියස කරන කතා
ළපැටින් හා ගිරා-සැළලිහිණියන්     අතා
යැවේ ඉරණමින් බැඳ දැන සවන්  වෙතා”

අනෙක් අතට සාගරිකා සමඟ එකතු වීමට ඇති එකම මාර්ගය බිසව සමා කරවා ගැනීම බව නියතාප්තියේ සඳහන් වෙයි. එසේම සාගරිකාගේ සැබෑ ස්වරූපය අනාවරණය වන්නේත් දෛවෝපගත ආකාරයකටය. එබැවින් සාගරිකාගේ සිත තුළ වාසවදත්තාගේ තරම් දැඩි මානසික ඝට්ටනයක් දිස් නොවෙයි.

මෙම සියලු චරිත පාදක කොට ගනිමින් ප්‍රේක්ෂකයාගේ සිත  තුළ අපුර්ව වූ රසයන් ජනිත කරවීමේ හැකියාව රත්නාවලී නාට්‍ය සතු බව කිවමනාය.